ට්‍රම්ප්ගෙන් විරෝධයක්



යුක්රේන නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකකට වෙඩි තැබීම සහ යුක්රේන නාවික හමුදා භටයන් අත්අඩංගුවට ගැනීම මුල්කොට ගනිමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් රුසියාවට සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරෝධයක් එල්ල වෙමින් පවතී.

ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර පැවැත්වෙන ජී20 සමුළුවේදී රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණි. රුසියාව සහ යුක්රේනය අතර හටගත් මෙම නව අර්බුදය මුල්කොට ගනිමින් එම හමුව අවලංගු කිරීමට තමන් තීරණය කරනු ඇතැයි ඇමෙරිකා ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය නිර්මාණය වූයේ පසුගිය ඉරිදා (25) ක්‍රිමියාවට ඔබ්බෙන් කර්ච් සමුද්‍ර සංධියේ යාත්‍රා කරන්න වූ යුක්රේන නාවික හමුදාවට අයත් ප්‍රහාරක යාත්‍රා දෙකකට සහ ටග් බෝට්ටුවකට රුසියානු වෙරළාරක්ෂක සේවය වෙඩි තැබීමත් සමඟය. රුසියාව විසින් ක්‍රිමියාව අත්පත් කරගෙන සිටී. ඒ, 2014 වසරේ සිටය. ඇමෙරිකාවේ සහ යුරෝපයේ සහාය ක්‍රිමියාවට සහ බටහිර හිතවාදී ජනාධිපති පොරෂෙන්කෝ ට හිමිවෙයි.

ඉරිදා දිනයේ රුසියන් වෙරළාරක්ෂක භටයන් කළ වෙඩි තැබීමෙන් පසු, යුක්රේන නාවික හමුදාවේ එම යාත්‍රා සහ ඒවායේ සිටි යුක්රේන නාවික හමුදා භටයන් 24 දෙනකු රුසියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. දෙපිරිස අතර හටගත් වෙඩි හුවමාරුවේදී යුක්රේන නාවික හමුදා භටයෝ තිදෙනෙක් තුවාල ලැබූහ.
රුසියාව චෝදනා කර ඇත්තේ යුක්රේන නාවික හමුදා යාත්‍රා කර්ච් සමුද්‍ර සංධියට පැමිණියේ අනවසරයෙන් කියාය. අත්අඩංගුවට ගත් ක්‍රිමියා නාවික හමුදා භටයන් රුසියා පාලනයට නතු ක්‍රිමියාවේ අධිකරණයක් හමුවට යොමු කෙරුණු අතර ඔවුන් දින 60 ක කාලයකට අත්අඩංගුවේ රඳවා ගන්නැයි අධිකරණය තීන්දු කළේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS