ට්‍රම්ප්ගෙන් පුටින්ට දුරකතන ඇමතුමක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අතරේ මිනිත්තු 90 ක් පුරා දුරකතන කතාබහක් පැවැති බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනම් විසඳුමක් සෙවීමේ අරමුණින් මෙම දුරකතන කතාබහ පැවැත්විණි. 

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුව අද තුර්කියේ දී ආරම්භ වෙයි. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඇතුළුව නේටෝ රටවල රාජ්‍ය නායකයෝ 32 ක් අන්කාරා නුවර පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වනු ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින් සමග සාකච්ඡා පැවැත්වූයේ නේටෝ සමුළුවට යෑමට පෙර, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නව සාම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් බව පැවැසෙයි. ක්‍රෙම්ලීනය ද මෙය තහවුරු කර ඇත.
කඩිනමින් පැහැදිලි සටන් විරාමයකට යෑම සහ ඉන්පසු සාම වැඩපිළිවෙළකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සහ පුටින් අතරේ සාකච්ඡාවට බඳුන් වූ බව ද වාර්තා වේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ, යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ සංවිධානය පිහිටුවීමේ අරමුණ වන්නේ රුසියාවෙන් එම නේටෝ රටවලට එල්ල වන තර්ජන පිටුදැකීම සඳහාය. අසල්වැසි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයකි‍.


RECOMMEND POSTS