ට්‍රම්ප්ගෙන් උතුරු කොරියාවට අනතුරු



ලෝකයට අනතුරක් වන අයුරින් සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් වහා නැවැත්වීමට පියවර ගත යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක් කළේය.

එම අනතුරු ඇඟවීම කරමින්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාව අසල බටහිර පැසිෆික් මුහුදට ඇමෙරිකන් නාවික හමුදා බළඇණියක් යැවීමට ද පියවර ගත්තේය. එම නාවික බළඇණියට නායකත්වය දෙන්නේ කාල් වින්සන් නමැති යුද නෞකාවය.

ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්  මෙසේ උතුරු කොරියානු නායකයාට සහ උතුරු කොරියාවට අනතුරු ඇඟවීම කළේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් විවේචනය කරමින් කළ ප්‍රකාශයක් හේතුවෙනි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් විවේචනය කළේ   පසුගිය සිකුරාදා (7) ඇමෙරිකා නාවික හමුදාව ජනපති ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව සිරියානු ගුවන් හමුදා කඳවුරකට පහර දී විනාශ කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

ජනපති ට්‍රම්ප් සිරියාවේ හමුදා කඳවුරකට පහර දුන්නේ බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් එරට නගරයකට සේරීන් නමැති විස රසායනික වායු යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.
‘ඇමෙරිකාව සිරියාවට පහරදීම නීති විරෝධීයි. එය සාධාරණීයකරණය කරන්න බැහැ. ඇමෙරිකාව මේ අයුරින් ක්‍රියා කරන නිසා න්‍යෂ්ටික අවි සිය දහස් ගුණයකින් එක් රැස් කර ගැනීම වරදක් නොවෙයි.’ යැයි න්‍යෂ්ටික වැඩසටහන සාධාරණීකරණයට ලක් කිරීමට නායක කිම් ජොන් උන් කටයුතු කළේය.

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සිදුකරන්නේ හිතුවක්කාර අන්දමිනි. එය නිසි අධීක්ෂණයකට ලක් වන්නේ ද නැත. මේ හේතුව නිසා, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත.

සම්බාධකවලින් මිරිකී සිටියද උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කරයි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව ද උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි උතුරු කොරියාවේ අසල්වැසියන් වන දකුණු කොරියාවට, ජපානයට තර්ජනයක් වී තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ නියෝගයට අනුව, සිරියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් යුද නැව් සිරියානු හමුදා කඳවුරට පහර දීම සිදු කරද්දී, චීන ජනාධිපති ෂී ජින්පින් සිටියේ ඇමෙරිකාවේය. චීන ජනපති ජින්පින් ඇමෙරිකාවට පැමිණියේ ට්‍රම්ප්ගේ ආරාධනාවකට අනුවය. දෙදෙනා අතර ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි.

උතුරු කොරියාව සම්බන්ධයෙන් ද දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සඳහාත්, මිසයිල වැඩසටහන සඳහාත් සහාය පළ කරන්නේ චීනයයි. උතුරු කොරියාව ‘මෙල්ල කර ගැනීමට’ තමන්ට සහාය දක්වන්නැයි ජනපති ට්‍රම්ප් චීන ජනපති ජින්පින්ගෙන් ඉල්ලා සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS