ජෝ බයිඩන්ට බිරිඳට කොරෝනා නෑ



තමන්ට හෝ තම බිරිඳට හෝ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වුණැයි ජෝ බයිඩන් පවසයි.

බයිඩන් මෙසේ පැවැසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ‘කියන්න සතුටුයි, මට හෝ බිරිඳ ජිල් ට හෝ කොරෝනා ආසාදනය වී නැහැ. දැන්වත් අප හැමෝම සිහියට ගන්න ඕනෑ. මුහුණු ආවරණ පළඳින්න. වයිරසයෙන් බේරෙන්න මුහුණු ආවරණ පළඳින්න’ යැයි ජෝ බයිඩන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 3 වැනිදාය. ඩිමොක්‍රටික් පක්ෂයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ බයිඩන්ය.

පසුගිය 30 වැනිදා, ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන පළමු සජීවී රූපවාහිනී විවාදය පැවැත්විණි. ඒ, ට්‍රම්ප් සහ බයිඩන් අතරේය. එම විවාදය ගාලගෝට්ටියක් විය. ජනාධිපති අපේක්ෂකයන්  දෙදෙනා විවාදය අතරතුරේ වැඩියෙන්ම කළේ එකිනෙකාට බැණ ගැනීම පමණි.

ජනපති ට්‍රම්ප් සහ ජනපති ආර්යාව මෙලිනියා කොවිඩ් 19 ආසාදිතයන් බව තහවුරු වූයේ එම විවාදයට සහභාගී වී යළි වොෂින්ටනයට පැමිණීමෙන් පසුවය. සජීවී රූපවාහිනී විවාදය පැවැත්වූයේ ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඩ් නුවරය.

(රොයිටර්)


RECOMMEND POSTS