ජෝ බයිඩන්ට පාප්තුමාගෙන් සුබ පැතුම්



ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් තේරී පත් වී සිටින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සුබ පතා ඇතැයි වාර්තා වේ.

පාප්තුමන් බයිඩන්ට සුබ පැතූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂයයි. 1960 වසරේ ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් ජෝන් එෆ්. කෙනඩිගෙන් පසු, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන කතෝලික ජනාධිපතිවරයා වන්නේ 77 හැවිරිදි වියෙහි පසුවන ජෝ බයිඩන්ය.පාප්තුමන් බයිඩන්ට සුබ පැතුවේ දුරකතන ඇමතුමක් දෙමිනි. මානව වර්ගයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි පාප්තුමන් බයිඩන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, එම ඉල්ලීම තමන් ඉටු කරන බවත් බයිඩන් පැවැසුවේය.

පසුගිය 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ, නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති අතර, ජයග්‍රහණය කළේ බයිඩන් යැයි සෙනට් මණ්ඩලය පිළිගෙන නැත. ඊට හේතුව වී ඇත්තේ, ජන්ද වංචා සිදුවුණැයි රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එල්ල කරන චෝදනා හේතුවෙනි. එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ වී ඇත. ඒ, ඇමෙරිකන් නීතිපතිවරයාගේ උපදෙස් මතය. බයිඩන්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ යැයි පැවැසෙන්නේ, ලබා ගැනීමට නියමිත ඉලෙක්ට්‍රෝරල් ඡන්ද (ඡන්ද ගණ) නියමිත සංඛ්‍යාව පසු කිරීමට බයිඩන් සමත් වූ බැවිනි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්, ට්‍රම්ප් නීතිමගින් කටයුතු කිරීම හේතුවෙන් පෙන්සිල්වේනියාවේත්, ජෝර්ජියාවේත් ඡන්ද යළි ගණන් කිරීම සිදුවෙයි. අවසානයේ, ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරනු ඇත්තේ අධිකරණයයි. මේ අතර ලෝක නායකයන් බොහෝ දෙනකු බයිඩන්ට එවූ සුබ පැතුම් බයිඩන්ට ලබා නොදීමට ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ද පැවැසෙයි. ඒ, පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් අනුවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS