ජපාන පාලක පක්ෂයට විශිෂ්ට ජයක්



ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණය පැවැත්වුණු අතර එයින් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට ආණ්ඩු පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ හවුල්කාර පක්ෂ සමත් විය.

ජපාන පාර්ලිමේන්තුවේ ආසන 248 න් 125 ක්, ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ‘කවුන්සිලර්’ මණ්ඩලය සතුය. මැවරණය පැවැත්වූයේ මෙම ‘කවුන්සිලර්’ මණ්ඩලය වෙනුවෙනි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට සහාය දක්වන පක්ෂ ආසන 63 කට වඩා දිනා ගෙන තිබුණි. ෆුමියෝ කිෂිඩා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය මුහුණ දුන් පළමු මැතිවරණය මෙයයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවස්ථා දෙකකදී හැර, ජපානයේ පාලක පක්ෂය ලෙස බලයේ රැඳී සිටී. පසුගිය 8 වැනිදා ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ නියෝජනය කළේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. අබේගේ සීයා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකි.

67 හැවිරිදි ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට සහාය පළ කරමින්, මැතිවරණ රැළියක් අමතමින් සිටිද්දීය. අබේගේ ඝාතනයෙන් පසු සිය පක්ෂයේ මැතිවරණ රැළි අවලංගු කිරීමට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කටයුතු කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS