ජපානයට මිලිමීටර් 360 ඉක්මවූ තද වැසි

ජපානයට නොකඩවා මහ වැසි ඇදහැලෙයි. ජපන් කාලගුණ විද්‍යාඥයන් ඊයේ (13) පැවැසුවේ, ගතවුණු පැය 24 ක කාලය ඇතුළත ටෝකියෝ අගනුවරට නැගෙනහිරින් පිහිටි චීබා පළාතට වාර්තාගත අයුරින්, මිලි මීටර් 360 ක ප්‍රබල වර්ෂාපතනයක් ඇද හැලුණු බවය.
චීබා පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත් එරට මාධ්‍ය පැවැසීය. මෝටර් රථ ජලයෙන් යටවී ඇති අයුරු සහ ඒවා ගසාගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් මේවනවිට ජපන් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
අයහපත් කාලගුණය හේතුවෙන් සිවු දෙනකු මියගිය බවත්, තවත් කිහිප දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. මියගිය සිවු දෙනා වැඩිහිටියන්ය. ඔවුන්ගෙන් තිදෙනකු කාන්තාවන් බව පැවැසෙයි.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන්, විදුලි බල සැපයුම්වලට ද බාධා එල්ල වී ඇත. ජපන් බලධාරීන් පවසන්නේ, නිවාස 22,000 කට විදුලි බලය නොමැති බවය.
මහ වැසි සහ ජල ගැලීම් ගැන ජපන් කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනාවැකි පළ කිරීමත් සමග 2,30,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද වාර්තා වේ.
මහ වැසි හේතුවෙන් දුම්රිය ගමන් ද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත. චීබා පළාතේ ‘සෝගා’ දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන් 4,000 ක පිරිසක් බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීන් සහ හමුදාව සමත් වූ බව ද වාර්තා වේ.

