ජනාධිපති ට්‍රම්ප්ගෙන් කළුකුමාට අභයදානය



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මරණයට කැපවුණු කළුකුම් දෙදෙනකුට අභයදානය ලබා දුන්නේය.

තුති පුද කිරීමේ දිනයට සමගාමීව, ඒ සඳහා රැගෙන එන කළුකුමන්ට අභයදානය දීම ඇමෙරිකා ජනපතිවරුන්ගේ සම්පදාය වෙයි. මෙම සම්ප්‍රදාය නොකඩවා සිදු කෙරෙන්නේ 1981 වසරේ ඇමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ රොනල්ඞ් රේගන් ධුර කාලයේ සිටය.

ඇමෙරිකානුවන් කෑන්කිස් ගිවින් එසේත් නැතිනම් තුතිපුද කිරීමේ උත්වය සමරන්නේ නොවැම්බර් අවසානයේය. මෙම වසරේ තුති පුද කිරීමේ දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 28 වැනිදාටය. තුතිපුද කිරීමේ දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර පවුලේ සැම එකට එක් වී, සාදයක් පවත්වයි. එම සාදයේ ප්‍රධාන ආහාරය කළුකුමෙකි.

ධවල මන්දිර ගෙවත්තේ පැවැති කළුකුමන්ට අභයදානය දීමේ උත්සවයට ජනපති ආර්යාව මෙලානියා ද එක් වූවාය. මාධ්‍යවේදීන් ඇතුළු ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයෝ බොහෝ දෙනෙක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

ට්‍රම්ප් අභයදානය ලබා දුන්නේ ‘බ්‍රෙඞ්’ සහ ‘බටර්’ යනුවෙන් නම් කළ කළුකුම් දෙදෙනාටය. අභයදානය දෙන ගමන්, ‘බ්‍රෙඞ්’ සහ ‘බටර්’ කළුකුම් දෙදෙනා වර්ණනා කිරීමට ද ට්‍රම්ප් අමතක නොකළේය.

ඇමෙරිකන් ජනපතිවරයා අතින් අභයදානය හිමිවන කළුකුම් වර්ජීනියා ජනපදයේ විශේෂ ගොවිපොලකය යැවීම සිදු කෙරේ. පසුගිය වසර 30 ක කාලය පුරාවට එසේ අභයදානය හිමිවුණු කළුකුමෝ මෙම ගොවිපොලේ ජීවත් වෙති. ‘බ්‍රෙඞ්’ සහ ‘බටර්’ දෙදෙනා ද එම ගොවිපොල බලා පිටත් කර හැරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS