ජනපති සෝලිගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජය



මාලදිවයින දූපත් රාජ්‍යයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලිගේ ‘මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ සමත් විය.

මාලදිවයින පාර්ලිමේන්තුව ආසන 87 කින් සමන්විත අතර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 60 කට වැඩි යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙය මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමද් නෂීඞ් ලැබූ විශිෂ්ට ජයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙමින් එය මෙහෙයවන්නේ මොහොමද් නෂීඞ් ය.
මාලදිවයිනේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස නෂීඞ් එම ධුරයට පත් වූයේ 2008 වසරේදීය.

2016 වසරේ දී අබ්දුල්ලා යමීන් මාලදිවයිනේ ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේදී, ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුණැයි නෂීඞ්ට චෝදනා එල්ල විය. එම චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් විඳි නෂීඞ් පසුව වසර කීපයක් මාලදිවයිනෙන් පිටවී සිටියේය.
මාලදිවයිනේ වත්මන් ජනාධිපති වන ඊබ්‍රහීම් මොහොමද් සෝලි, නෂීඞ්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ තැනැත්තාය. නෂීඞ් යළි මාලදිවයින බලා පැමිණියේ පසුගිය සැප්තැම්බරයේ සෝලි, අබ්දුල්ලා යමීන් පරාජය කරමින් ජනපති ධුරයට පත්වීමෙන් පසුවය.

පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සෙසු විපක්ෂ කණ්ඩායම් සමඟ සන්ධානගත වී සිටියේය. කෙසේ නමුත් මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂ සහ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තනි තනිව තරග කළේ යැයි ද වාර්තා වේ.

දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, දූෂණ වංචා නැවැත්වීමට අධිකරණයට වැඩි බලයක් ලබා දීමටත්, චීනය සමඟ පවතින සබඳතා අඩු කරමින්, චීනයෙන් යැපෙන්නේ නැතිව, සාම්ප්‍රදායික මිතුරා වන ඉන්දියාවට වැඩි වැඩියෙන් සමීප වීමට උත්සාහ කරන බවට මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

මාලේහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS