ජනපති මදුරෝ ධුරයෙන් නෙරපන්න උදවු කරන්න

දස දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ද පිරිවරා ගනිමින්, කැරැකස් අගනුවරට රැස්වුණු විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ, වෙනිසියුලා හමුදාවෙන් ඉල්ලා සිටියේ ජනපති නිකලස් මදුරෝධුරයෙන් නෙරපන්න තමන් ඇතුළු විපක්ෂ සන්ධානයට සහාය දෙන ලෙසය.
වෙනිසියුලානු විපක්ෂ සන්ධානය විසින් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස නම් කරනු ලැබ ඇත්තේ ද ගුයිඩෝය. මොහුට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලත්, අසල්වැසි ලතින් ඇමෙරිකා කලාපිය රටවලත් සහාය හිමිවෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ තමන් සැමවිටම වෙනිසියුලා වැසියන්ට සහාය දක්වන බවය.
ගුඅයිඩෝ විරෝධතාකරුවන් මෙහෙයවමින්, කැරැකස් අගනුවරට රැස්වූයේ ජනාධිපති නිකලස් මදුරෝ ධුරයෙන් පන්වා දැමීමේ අවසන් විරෝධතා රැලිය එය බව මාධ්‍ය හමුවේ අවධාරණය කරමිනි.
වෙනිසියුලා හමුදාව, ජනාධිපති මදුරෝට සහාය දක්වන බවට ප්‍රතිඥා දී ඇත. එපමණක් නොව, ඉරානය, රුසියාව සහ චීනය ද සහාය දක්වන්නේ වෙනිසියුලා ජනාධිපති මදුරෝගේ රජයටය.
පැවැති විරෝධතාවයේදී විපක්ෂයේ ඉල්ලීමට හමුදාව කන් නොදුන් බවත්, හමුදා කුමන්ත්‍රණයක් රටේ සිදු නොවුණු බවත් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පසුව මාෂ්ය හමුවකදී පෙන්වා දුන්නේය.
වෙනිසියුලාවේ හමුදා කුමන්ත්‍රණයකට සූදානම් වූ සියලුම දෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත් වෙනිසියුලා ජනාධිපති මදුරෝ වැඩිදුරටත් පවසා තිබේ.
කැරැකස්හිදීය (රොයිටර්ස්)

