ජනපති ට්‍රම්ප් මැලේසියාවට

ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර බලා පැමිණියේය. ක්වාලාලාම්පූර් අගනුවර 47 වැනි ආසියානු සමුළුව පැවැත්වෙන අතර ලෝක නායකයෝ බොහෝ දෙනෙක් ඊට සහභාගී වෙති. ට්‍රම්ප් ද ඔවුන්ගෙන් කෙනෙකි.
ක්වාලාලාම්පූර් අගනුවරට පැමිණි අවස්ථාවේදී, මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්රහීම්ගෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පිරිවරට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මීට මාස කීපයකට පෙර පැවැති, කාම්බෝජය සහ තායිලන්තය අතරේ දේශසීමා යුද ගැටුම් නැවැත්වීමට ට්‍රම්ප් මැදිහත් වූයේ මැලේසියාවේ ද සහාය ඇතිවය. මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ අන්වර් ඊබ්‍රහීම් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.
ආසියාන් සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් ද සහභාගී වන අතර, සමුළුවට සමගාමීව, ට්‍රම්ප් සහ ජින්පින් අතරේ ද විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ, ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය මුල්කොට ගනිමිනි.
ඇමෙරිකාවත් චීනයත් අතරේ පවතින ‘වෙළෙඳ යුද්ධය’ හේතුවෙන් දෙරට අතර සබඳතා අඩපණ වී ඇත. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනවීම් කර ඇත. මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට ට්‍රම්ප් සහ ජින්පින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
තෙදිනක් තිස්සේ පැවැත්වෙන ආසියානු සමුළුව යනු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයයි. ආසියාන් සමුළුවට සහභාගී වන සාමාජික රටවල් 10 කි. බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, සහ වියට්නාමය යනු එම රටවල්ය. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයට අනුව, මෙම රටවල් සියල්ලෙහිම ජනගහනය මිලියන 678 ක් වන අතර, ඒවායේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.9 කි.
ඇමෙරිකා එක්සත් ජනපදය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සම්පූර්ණ සාමාජික රටක් නොවන නමුත්, ඇමෙරිකාව මෙම සංගමය සමග ඉතා සමීප සබඳතා පවත්වනහවුල්කරුවෙකි.

