ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඇමෙරිකන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ එක්සත් ජනපද කොංග්‍රසය යනුවෙනි. කොංග්‍රසය මන්ත්‍රණ සභා දෙකකින් සමන්විතය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ලය ආදී වශයෙනි. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය.
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ඩිමොක්රටික් පාක්ෂික නැන්සි පෙලොසිගේ මැදිහත්වීමෙනි.
දෝෂාභියෝගය ගෙන ඒමට හේතුවක් වී ඇත්තේ, ජනපති ට්‍රම්ප් සිය බලතල අනිසි ලෙස භාවිත කරමින්, පෞද්ගලික වාසි අපේක්ෂාවෙන්, විදෙස් රාජ්‍ය නායකයකුට බලපෑම් කර, උදවු ලබා ගැනීම සම්බන්ධයෙනි.
එලැඹෙන 2020 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ එක් ජනපතිධුර අපේක්ෂකයකු වන්නේ ජෝ බයිඩන් ය. ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය.
බයිඩන් උප ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ පුත්‍රයා හන්ටර් බයිඩන්, යුක්රේන තෙල් සහ වායු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිනයෙක් වී සිටියේය. මෙම සමාගමට මූල්‍ය වංචා චෝදනා එල්ල විය. එවකට පැවැති යුක්රේන රජය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ නමුත් ජෝ බයිඩන් ඊට හරස් වී තිබේ.
වර්තමානයේ යුක්රේනයේ ජනාධිපතිවරයා වන්නේ ව්ලොදිමීර් සෙලෙන්ස්කි ය. මොහු ජනපති ධුරයට පත් වූයේ පසුගිය ජූලි මාසයේය. නව ජනපති සෙලෙන්සිකට සුබ පැතීමට, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ඔහුට ඇමතුමක් දුන්නේ ජූලි 25 වැනිදා ඇමතුමක් දුන්නේය. එහිදී ට්‍රම්ප් කියා සිටියේ ජෝ බයිඩන් සිදු කළ බලපෑම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙසය.
එසේ විමර්ශනයක් නොකරන්නේ නම්, ඇමෙරිකාවෙන් යුක්රේනයට ලැබෙන මුදල් ආධාර නවත්වනවා යැයි ට්‍රම්ප් යුක්රේන ජනපතිවරයාට තර්ජනයක් ද කළේය.
පෞද්ගලික මට්ටමින් සිදුවුණු මෙම දුරකතන කතාබහ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට අනාවරණය කළේ ධවල මන්දිරයට අනුයුක්තව සේවය කළ සී.අයි.ඒ. බුද්ධි නිලධාරියෙකි. කතා නායිකා නැන්සි පෙලෝසි, ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු යෙදුණේ ඒ අනුවය.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් කොංග්රස් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පසුගිය සති කිහිපයේ නඩු විභාගයක් පැවැත්විණි. ධවල මන්දිරයේ බොහෝ දෙනකු ඊට කැඳවා සාක්ෂි සටහන් කර ගැණින. ජනපති ට්‍රම්ප් ද එම විමර්ශන කමිටුව හමුවට කැඳවිණි.
කෙසේ නමුත් නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි ට්‍රම්ප් එම කමිටුව හමුවේ පෙනී සිටියේ නැත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෝෂාභියෝගය ගෙන ඒමටත්, ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමටත් විමර්ශන කමිටුව අවසානයේ දී අවසර දුන්නේය.
ඇමෙරිකා ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන තෙවැනි අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දෝෂාභියෝගයෙන් පරාජය වුවහොත්, ට්‍රම්ප්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇත. කෙසේ නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ලයේ පමණක් නොව සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය ඒ සඳහා හිමිවිය යුතුය.
සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පක්ෂය සතුව තිබීම ට්‍රම්ප්ගේ වාසියට හේතුවක් බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

