ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණය සමත්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, සුපුරුදු පරිදි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත්, එයින් ඔහු එය සමත් වූ බවත්, 2024 වසරේ පැවැත්වීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට සෞඛ්‍යමය ගැටලු කිසිවක් නොමැති බවත් ධවල මන්දිරය පවසා තිබේ.
ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකුට සිවු වසර බැගින් ධුර කාල දෙකක් හිමිවෙයි. ජනාධිපති ලෙස කටයුතු කරද්දී ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. ඒ, ජනාධිපති ධුරයේ දිගටම කටයුතු කිරීමට සුදුසු කායික සහ මානසික ශක්තියක් ඇතිදැයි සොයා බැලීමටය.
80 හැවිරිදි ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වයස්ගතම පුද්ගලයාය. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් තවමත් නිල වශයෙන් පවසා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)

