ජනපති ඝාතන තැත වරදී

පුපුරණ ද්‍රව්‍ය සවිකළ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දෙකක් යොදා ගනිමින්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඝාතනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.
ජනපති මදුරෝට කිසිදු අනතුරක් සිදු නොවුණත්, ඔහුගේ හමුදා සොල්දාදුවන් පිරිසක් තුවාල ලැබූ බව වෙනිසියුලා සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොඞ්රීගේස් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් පසුව නිවේදනය කළේය.
ජනපතිවරයා ඉලක්ක කර ගනිමින්, පුපුරන ද්‍රව්‍ය සවි කළ දුරස්ථ පාලනයෙන් ක්රියාක්මක එම කුඩා යානා පැමිණ ඇත්තේ, කැරැකස් අගනුවර වෙනිසියුලා හමුදාවේ 81 වැනි සංවත්සර උලෙළ පැවැත්වෙද්දීය. එම අවස්ථාවේදී ජනාධිපති මදුරෝ සජීවීව රූපවාහිනී නාලිකා ඔස්සේ ජනතාව අමතමින් සිටියේය. ඒ, හමුදා ප්‍රධානීන්ද පිරිවරාගෙනය.
ඩ්‍රෝන යානා ජනපති මදුරෝගේ සිරුරේ ගැටීමට හෝ ඔහු අසලට කඩා වැටීමට සලස්වා පුපුරුවා හැරීමට සැලැසුම් කර තිබුණු නමුත් එය අසාර්ථක විය. ඩ්‍රෝන යානා පැමිණෙනු දුටු අවස්ථාවේදී ජනපතිවරයා සිය කතාව නවත්වන අතර, උලෙළට සහභාගී වී සීරුවෙන් සිටි හමුදා සොල්දාදුවන් කලබලවී දුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
ඩ්‍රෝන යානා අවට ගොඩනැගිලිවල ගැටී පුපුරා ගියේ යැයි ද පැවැසෙයි. මදුරෝ කඩිනමින් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ.
ජනාධිපති මදුරෝ ඝාතනය කිරීමට උත්සාහ කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් බාරගෙන නැති බව ද වාර්තා වේ. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඇමෙරිකාවේ අනුග්‍රහය සහ සහාය ලබන දක්ෂිණාංශික විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් යැයි ජනාධිපති මදුරෝ චෝදනා කරයි.
(රොයිටර්)

