ජනතාව අතරට යන්න ජනපති ට්‍රම්ප් සූදානම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවත්, ජනතාව අතරට යෑමට ඔහුට හැකියාව ඇති බවත් ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි නිවේදනය කළේය.

ධවල මන්දිර වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වූ ට්‍රම්ප්ට ලබා දුන් ප්‍රතිකාර සියල්ල මේ වනවිට අවසන් බවත්, තව දුරටත් වයිරස විෂබීජ ට්‍රම්ප්ගේ සිරුරේ නොමැති බවත්ය. කෙසේ නමුත් වැඩිදුර තකහවුරු කිරීමක් ලෙස අද (10) උදෑසන ට්‍රම්ප් යළි කොවිඩ් 19 පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට තමන් කටයුතු කරන බව ද වෛද්‍ය කොන්ලි පැහැදිලි කර තිබේ.

‘ජනපති ට්‍රම්ප් බොහොම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. සති අන්තයේ පැවැත්වෙන ජන රැළිවලට ඔහු සහභාගී වීමට සූදානම්. කොරෝනා ආසාදිතයකු වී සිටිද්දී ට්‍රම්ප්ට අප ලබා දුන් ඖෂධ සාර්ථක වුණා. ඔහු ඉක්මණින් සුවය ලැබුවේ ඒ නිසයි’ යැයි වෛද්‍ය කොන්ලි පවසා ඇත.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, සති අන්තයේ පැවැත්වීමට නියමිත ජනරැලිවලට සහභාගීවී, තම ආධාරකරුවන් අතරට යෑමට ආශාවෙන් පසුවන බවය. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වූයේ පසුගිය පළමු වැනිදාය. 50 හැවිරිදි වියෙහි පසුවන මෙලනියාගේ තත්ත්වය යහපත් වූ නමුත්, 74 හැවිරිදි ට්‍රම්ප් හමුදා රෝහලකට ඇතුළත් කෙරුණි. ධවල මන්දිර වෛද්‍ය ජෝන් කොන්ලි ඇතුළු වෛද්‍යවරුන් ට්‍රම්ප්ට, තවමත් අත්හදා බැලීම් කරමින් පවතින ඖෂධ කීපපයක් ලබා දුන් බවත්, දින තුනක් වැනි කෙටි කාලයකදී ට්‍රම්ප් වයිරසය පරාජය කළ බවත් පැවැසෙයි.

කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව, ඇතැම් ඇමෙරිකන් වෛද්‍යවරුන් පවා සැක කරන්නේ ට්‍රම්ප් තවමත් කොරෝනා ආසාදිතයකු විය හැකි බවය. ට්‍රම්ප්ගේ සියලුම වෛද්‍ය වාර්තා සහ පීසිආර් පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන්නැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS