ඡන්ද වංචා සිදුවුණු බවට සාක්ෂියක් නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කළත්, ඡන්ද වංචා සිදුවුණු බවට කිසිදු සාක්ෂියක් නැතැයි, එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ඇමෙරිකන් මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.

පසුගිය තුන්වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දැමීමක්, ඡන්ද පත්‍රිකා අතුරුදන්වීමක් හෝ ඡන්ද වංචාවක් හෝ සිදුවූ බවට කිසිදු සාක්ෂිවක් ලැබී නොමැති බවත්, ඇමෙරිකන් ඉතිහාසයේ පැවැත්වූ වඩාත් සුරක්ෂිතම ජනාධිපතිවරණය මෙය බවත් මැතිවරණ බලධාරීහු වැඩි දුරටත් අවධාරණය කරති.

ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප්, ජනාධිපතිවරණයේ සිදුවුණු අක්‍රමිකතා පෙන්වා දෙමින්, පිටු 234 ක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, ජනපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඇමෙරිකන් නීතිපති විලියම් බාර් අවසර දී තිබේ.

ඒ අනුව, විමර්ශන කටයුතු මෙහෙයවීමට ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ, අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයකු වන රිචඞ් පිල්ගර් පත් කර තිබේ. තමන්ට ලැබුණු ඡන්ද මිලියන 2.7 ක් ‘අතුරුදන්’ කළේ යැයි ට්‍රම්ප් චෝදනා කර තිබේ. මැතිවරණ බලධාරීන් පවසන්නේ ට්‍රම්ප් එල්ල කරන එම චෝදනා පදනම් විරහිත බවය.

ජනපති ට්‍රම්ප්ගේ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ෆෙඩරල් පරීක්ෂකවරුන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරණයේ කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැති බව පවසා ඇත්තේ එම විමර්ශන කණ්ඩායමය. ජනපති ට්‍රම්ප් පවසන ආකාරයට ඡන්ද පෙට්ටි ප්‍රමාදයක් පවා සිදුවී නැති බවත්, ඡන්ද ගණන් කිරීම් ආරම්භ වූ දිනය තුළ ඒවා ඡන්ද මධ්‍යස්ථාන වෙත ලැබුණු බවත් ඇමෙරිකා මැතිවරණ කොමිසම තහවුරු කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS