ඡන්දය නොදුන් මන්ත්‍රීවරියට කැපිල්ලක්



ජනපති බලතල අනිසි ලෙස භාවිතා කිරීම සහ කොංග්‍රස් මණ්ඩලයට (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) එරෙහිව කටයුතු කිරීම යන චෝදනා දෙක මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ, එක් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරියක පමණක් ඡන්දය දීමෙන් වැළැකී සිටියාය.

ඡන්දය දීමෙන් වැළැකී සිටියේ 38 හැවිරිදි තුල්සි ගැබාර්ඞ් ය. ඉන්දීය සම්භවයක් සහිත තුල්සි, දේශපාලනයට පිවිසීමට පෙර, ඇමෙරිකන් හමුදා සෙබළියක ලෙස සේවය කර ඇත. එලැබෙන 2020 ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජනපති ධුර අපේක්ෂකයන්ගෙන් කෙනකු වන්නේ ද තුල්සි ගැබාර්ඞ් ය.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සියලු ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය පළ කරද්දී තුල්සි පමණක් ඡන්දය දීමෙන් වැළැකීම සම්බන්ධයෙන් මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඇයට විරෝධයක් එල්ල වී ඇතැයි පැවැසෙයි.

ට්‍රම්ප්ට එරෙහි චෝදනා දෙකක් යටතේ දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි මැදිහත් වෙමිනි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 435 කින් සමන්විත වන අතර, බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය.

ජනපති ට්‍රම්ප් සිය බලතල අනිසි ලෙස භාවිත කළේ යැයි යන චෝදනාවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 228 ක් ඡන්දය ලබා දුන් අතර, විරෝධය දැක්වූයේ 195 කි. ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයට එරෙහි වූයේ යැයි යන චෝදනාව සම්බන්ධයෙන් 229 ක්, දෝශාභියෝගයට පක්ෂව ඡන්දය දුන් අතර, විරෝධය දැක්වූයේ 197 දෙදෙනෙකි. මෙම අවස්ථා දෙකෙහිදීම තුල්සි ඡන්දය දීමෙන් වැළැකී සිටි බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS