චීන ‘සිනොවැක්’ එන්නත සාර්ථක වන ලකුණු

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, චීනයේ ‘සිනොවැක් බයෝටෙක්’ ඖෂධ සමාගම නිපදවූ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ.
චීන රජය මේ වනවිටත් එරට හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සාමාජික සාමාජිකාවන්ට ‘සිනොවැක්’ එන්නත ලබා දී ඇතැයි පැවැසෙයි. චීන වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එන්නත කිසිදු අතුරු ආබාධයක් පෙන්නුම් නොකරන බවත්, කොරෝනා වයිරසය ආසාදනය වීම අඩපණ කිරීමට ඊට හැකියාව ඇති බවත්ය.
‘සිනොවැක්’ එන්නත, සාර්ථක යැයි බ්‍රසීලයේ සාඕපාවුලෝ ආණ්ඩුකාරවරයා ද පවසා ඇත.
එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ සායනික පර්යේෂණ ආරම්භ කළ අවස්ථාවේදී, සාඕ පාවුලෝ නුවර, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, තෝරාගත් 9,000 කට එන්නත ලබා දීම සිදුවිය. ඒ, මීට සති කීපයකට පෙරය. සායනික පර්යේෂණ යටතේ, බ්‍රසීල වැසියන්ට එන්නත ලබා දීම සිදු වූයේ චීන රජය, බ්‍රසීල රජය සහ සාඕ පාවුලෝ ආණ්ඩුකාරවරයාගේ ද මැදිහත් වීමෙනි.
සායනික පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ නම්, ලබන දෙම්බරයේ සිට එන්නත බ්‍රසීල වැසියන්ට ලබා දීමට පියවර ගන්නා බව බ්‍රසීල රජය පවසා ඇත. බ්‍රසීල රජය මේ වනවිටත්, දීන රජය සහ ‘සිනොවැක් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. චීන රජයේ අනුග්‍රහය යටතේ, එරට ‘සිනොවැක් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම, එන්නත නිපදවා තිබෙන්නේ, කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට, සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීම සඳහාය.
බීජීංහිදීය (රොයිටර්)

