චීන නගරයක හැමෝටම පීසීආර් පරීක්ෂණ



 

සිංග්ඩෝ නමැති නගරයේ සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීම ආරම්භ කර ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පවසති. සිංග්ඩෝ නගරයේ වෙසෙන ජනගහණය මිලියන 9 කි.

මේ වනවිට සිංග්ඩෝ නගරයේ කොවිඩ් 19 කොරෝනා වයිරස බියක් නිර්මාණය වී ඇත. ඒ, රෝහලක් කේන්ද්‍රකොට ගනිමින් නව වයිරස ආසාදිතයන් පොකුරක් නිර්මාණය වීමත් සමගය. ආසාදිතයන් හමුවී ඇත්තේ සිංග්ඩෝ ළය රෝහලෙන් යැයි ද පැවැසෙයි.

ඒ අනුව, වයිරස ආසාදිතයන් සොයා ගැනීමේ අරමුණින් නගරයේ සියලුම දෙනා ඉදිරි දින පහ ඇතුළත පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

නගර වැසියන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් 1,40,000 ක පිරිසක් යොදවා ඇති බවත්, හමුදාවේ සහාය ද ඔවුන්ට හිමිවන බවත් චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ළය රෝහල ආශ්‍රිතව මේ වනවිට කොරෝනා ආසදිතයන් 21 දෙනකු වාර්තා වී ඇතැයි ද පැවැසෙයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ලොව පුරා පැතිරීම ඇරැඹුණේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. චීනයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 85,5788 ක් වන අතර මරණ වාර්තා වන්නේ 4,634 ක් ලෙසිණි. විටින් විට චීනයේ නගර සහ පළාත් කේන්ද්‍රකොට ගනිමින් වයිරස ආසාදිතයන් හමුවීම පසුගිය කාලය පුරා සිදුවිය.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන එන්නතක් චීනය නිපදවමින් සිටී. අවසන් අදියරේ පර්යේෂණ මට්ටමේ පවතින මෙම එන්නත මේ වනවිටත් දහස් ගණනින් චීන සොල්දාදුවන්ට, සෞඛ්‍ය අංශ නිලධාරීන්ට ලබා දී අවසන් බව පැවැසෙයි. චීනය විසින් නිපදවමින් පවතින මෙම එන්නත කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇති බව ද පැවැසෙයි.

සිංග්ඩෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS