චීන ගගනගාමීහු තිදෙනෙක් උඩට

චීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි.‘ලොංග් මාච්’ රොකට්ටුව සහ ‘ෂෙංෂූ 23’ ගගන කැප්සියුලය නිපදවා ඇත්තේ චීන තාක්ෂණයෙනි.
රොකට්ටුවෙන් වෙන්වුණු ‘ෂෙංෂූ 23’ යානය, ඊයේ (25) උදෑසන පෘථිවි කක්ෂයේ දී, ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ විය. චීන රජය නිවේදනය කළේ, අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය ෂැංග් ෂියන්, ෂූ යැංග්ෂු සහ ලායි කා යිංග් යන එම ගගනගාමීන් තිදෙනා වසරක කාලයක් එහි රැඳී සිටිනු ඇති බවය. ඔවුන් විවිධාකාරයේ පර්යේෂණ සිදු කරනු ඇති බවත්, නැවතුම්පොළේ ඉදිකිරීම් වලට දායක වනු ඇති බවත් පැවැසෙයි.
‘ටියැංගොන්’ යනු චීනය අභ්‍යවකාශයේ ඉදි කළ (කැබලි ලෙස රැගෙන ගොස් එකලැස් කළ) ඔවුන්ටම වෙන්වුණු අභ්‍යවකාශ නැවතුම්පොළය. ඇමෙරිකාව, රුසියාව, ජපානය ඇතුළු සෙසු රටවල් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ වී සිටින නමුත් චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ නොවෙයි. ඒ, දේශපාලන අර්බුද සහ මත ගැටුම් හේතුවෙනි. චීනය ඔවුන්ටම කියා අභ්‍යවකාශ නැවතුම්පොළක් සකසා ගෙන ඇත්තේ ඒ නිසාය.
ගගනගාමීන් තිදෙනාගෙන් ලායි කා යිංග් කාන්තාවකි. ඇය හොංකොං පොලිස් නිලධාරිනියක ලෙස රාජකාරි කරමින්, ගගනගාමිනියක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියකි. හොංකොං යනු චීන පාලනය යටතේ පවතින ප්‍රදේශයෙකි. හොංකොං හි ඇත්තේ චීන හිතවාදී පාලනයකි. හොංකොං වැසියකු අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාව ලෙස මෙය වීම ද විශේෂත්වයකි. සෙසු ගගනගාමීන් තිදෙනා වන ෂූ යැංග්ෂු සහ ලායි කා යිංග් මහජන චීන හමුදාව නියෝජනය කරති.
‘ෂෙංෂූ 23’ ගගන යානය රැගෙන, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ රොකට්ටුව උඩු ගුවන බලා පිටත්ව ගියේ ඊයේ (24) දිනයේ චීනයේ ගැන්ෂු පළාතේ, ජියුකාන් ට නුදුරින් පිහිටා ඇති ජියුකාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි. චීනයේ වේලාවෙන් ඊයේ (24) රාත්‍රී 11.08 ට රොකට්ටුව ගුවන්ගතවීම සිදුවිය.
2030 දී චීනය ද, එරට ගගනගාමීන්, සඳට යැවීමට නියමිතය. චීනය මේ වනවිටත් රොබෝ අභ්‍යවකාශ ගවේෂණ යානා යවා, සඳ ගවේෂණ සිදු කර ඇත. සෝවියට් රුසියාව සහ ඇමෙරිකාවට අමතරව, සඳට රොබෝ ගවේෂණ යානා යැවූ සෙසු රටවල් වන්නේ චීනය, ඉන්දියාව සහ ජපානයයි.

