චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 යි

චීන කොමියුනිස්ට් පාලනයට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් අද (1) එරට ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් බීජීං අගනුවර ටිනැන්මන් චතුරස්‍රය කෙන්ද්‍රකොට ගනිමින් දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත්විණි.
මෙම හමුදා පෙළපාළියේ අරමුණ චීනයේ යුද ශක්තිය ලොවට ප්‍රදර්ශනයයි. හමුදා සොල්දාදුවන්, යුද ටැංකි සහ යුද උපකරණ, මිසයිල, නියමුවන් රහිත ප්‍රහාරක සහ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි. මේ අතර ශබ්දයේ වේගය පරදන හයිපර් සොනික් ඩ්‍රෝන යානා ද තිබුණු බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
යුද්ධයෙන් බිඳුණු දිළිඳුකම පැතිරුණු රාජ්‍යයක් වූ චීනය, කොමියුනිස්ට් පාලනය යටතේ මහජන චීනය ලෙස අද ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍යය බවට පත් වී ඇති බවත්, චීනයට බලපෑම් කිරීමට හෝ චීනයට සම කිරීමට හෝ හැකි කිසිදු රටක් නොමැති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් හමුදා පෙළපාළියට පැමිණ රැස්ව සිටි ලක්ෂ ගණනක් චීන වැසියන් අමතමින් පැවැසීය.
කොමියුනිසිට් චීන සමූහාණ්ඩුව බිහිවූයේ 1949 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා මා ඕ සේතුංගේ නායකත්වයෙනි. මා ඕ සේතුංගෙන් පසු චීනයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම නායකයා ලෙස ෂී ජින්පින් චීන වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටී.
බීජීං අගනුවර පමණක් නොව, චීනයේ සෙසු ප්‍රධාන නගර කේන්ද්‍ර කොට ගනිමින් ද සැමරුම් උත්සව මහ ඉහළින් පැවැත්විණි. මේ අතර චීන පාලනයෙන් බලපෑම් එල්ල වන බවට චෝදනා කරන හොංකොං වැසියන්, චීනයට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්වූ බව ද වාර්තා වේ.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

