චීනයේ මහ අමුතු දේවල් සිද්ධ වෙනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් ‘හරි අමුතු දේවල් සිදුවෙනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

‘කොවිඞ් 19’ වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වූ කොරෝනා වර්ගයේ වයිරසයක් බව පැවැසුවත් එහි සුලමුල තවමත් ලොවට අබිරහසක් බව ලොව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත.

වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ආරම්භයේ පටන් ඇමෙරිකාව චෝදනා කළේ වයිරසය වූහාන් රසායනාගාරයක් තුළ නිපදවූවක් බවත්, එය අත්වැරදීමකින් හෝ හිතාමතා සමාජයට මුදා හරිනු ලැබූවක් බවත් ය.

පසුගිය දා ඇමෙරිකානු ෆොක්ස් පුවත් නාළිකාව අනාවරණය කළේ වයිරසය වූහාන් නුවර රසායනාගාරයක නිර්මාණය කරන ලද්දක් බවත්, එය චීනය සැඟවීමට උත්සාහ ගන්නා බවත්ය.

ෆොක්ස් පුවත් නාළිකාව මෙම අනාවරණය කළේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය. පුවත් නාළිකාව අනාවරණය කළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඇසුරින් තමන්ට ඒ බව දැනගන්න ලැබුණු බව පෙන්වා දෙමිනි.

‘චීනයේ මහ අමුතු දේවල් සිදුවෙනවා. විශේෂයෙන් වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන්. ජාත්‍යන්තරය එක් වී, ඒ ගැන විමර්ශනයක් කිරීමට සූදානම් වෙනවා. අපි ඇත්ත නැත්ත අනාවරණය කර ගන්න ඕනෑ’ යැයි ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේ දී ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

මෙසේ චීනයට චෝදනා එල්ල වෙද්දී, වූහාන් නුවර වයිරසයට බිලිවුණු සංඛ්‍යාව යවත්කාලීන කිරීමට චීන රජය සහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේය. ඒ අනුව, කලින් සඳහන් කළ සංඛ්‍යාවට වඩා එය ඉහළ අගයක් ගන්නා බව පැවැසෙයි. එමෙන්ම, එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ වයිරසය ආරම්භවීම, එහි සුලමුල සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපහැදිලි කරුණු රැසක් ඇති බවත්, ඒවාට නිසි පිළිතුරු සැපැයීමට චීන රජය තවමත් අපොහොසත් වී ඇති බවත්ය. වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වුණු අවස්ථාවේදී, චීන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තමන් ප්‍රශ්න කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS