චීනයේ උරුම්කී නුවර ආසාදිතයෝ ඉහළට



චීනයේ ෂිවන්ජියැං පළාතේ උරුම්කී නුවරින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 17 දෙනකු හමුවුණු බවත් ඒ අනුව, උරුම්කී නුවරින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 47 දක්වා ඉහළ යනු ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ෂිවන්ජියැං පළාතේ උරුම්කී නුවර කේන්ද්‍රකොට ගනිමින් කොරෝනා වයිරස රැල්ලක් හටගත්තේ පසුගිය 18 වැනිදාය. මේ වනවිට නගරය මුළුමනින්ම වසා දමා ඇති බවත්, නගරයේ ස්ථාන රැසක ආසාදිතයන් සෙවීම සඳහා වෛද්‍ය පර්යේෂණ කුටි ස්ථාපිත කර ඇති බවත් පැවැසෙයි. චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ආසාදිතයන් සොයා ගැනීමේ දී සහ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමේ දී හමුදාවේ සහාය ඔවුන්ට හිමිවන බවය.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. අද වනවිට චීනයේ වයිරසය පාලනය වී ඇති නමුත්, විටින් විට තැනින් තැනින් තැන ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි. චීනයෙන් මෙතෙක් වාර්තා වී ඇති ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 83,682 කි. මරණ වාර්තා වන්නේ 4,634 ක් ලෙසිණි.

උරුම්කිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS