චීනයෙන් හමුවුණේ එක් ආසාදිතයයි



ඉකුත් පැය 24 දී චීනයෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයකු පමණක් යැයි එරට බලධාරීහු  ප්‍රකාශ කළහ.

ඊට අමතරව තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමු වී ඇති නමුත් ඔවුන් විදෙස් ගතව සිට චීනයට පැමිණි අය යැයි ද එම බලධාරීහු කීහ.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති සටනේදී චීනය මේ වනවිට දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.

ඊයේ දිනයේදී වාර්තා වූ එකම ආසාදිතයා වාර්තා වී ඇත්තේ වූහාන් නගරයෙනි. චීනය මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ද විශේෂඥයෝ පෙන්වාදෙති. වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ වූහාන් නගරයේ පිහිටි සත්ව හා ජීවී සත්ව ආහාර අලෙවි කරන වෙළෙඳපොළකින් යැයි පැවසේ.

මිලියන 11 කට වැඩි පිරිසක් වූහාන් නගරයේ ජීවත්වන අතර එම නගරය ජනවාරි 23 වැනිදා සිට දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරුණි. ඒ අනුව දැඩි සීමා පනවමින් ගමන්බිමන් සීමා කරමින් එම ක්‍රියාවලිය ක්‍රියාත්මක විණි. ඉන් දින කිහිපයකට පසු වූහාන් නගරය අයත් හුබෙයි පළාත ද දැඩි සීමා පනවමින් දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරුණි. පළාත සම්පූර්ණයෙන් වසාදැමිණි.

ඉන් පසුව චීන බලධාරීහු පෙබරවාරි 11 වැනිදා පනවා තිබූ සීමා තවදුරටත් දැඩි කළහ. ඒ අනුව ජනතාව ඔවුන්ගේ නිවෙස්වලට කොටු වූ අතර සෞඛ්‍ය සේවකයෝ දිනපතා රාජකාරී කළද දෛනිකව ආසාදිතයන් 1,000කට වැඩිය හමු වූ අවස්ථාව ද වාර්තා විය. කෙසේ නමුත් ගත් දැඩි ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම හේතුවෙන් ආසදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩු කරගැනීමට හැකි වූ බව චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

චීනයේ අනෙකුත් නගර හා පළාත්වල ද එවැනි සීමාකාරී පියවර ගත් අතර පසුගිය දින කිහිපයේදී හුබෙයි පළාත හැර අනෙකුත් කිසිදු ස්ථානයකින් නව කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු වාර්තා වී නැත.

කෙසේ නමුත් විදෙස් ගතව සිට පැමිණෙන චීන ජාතිකයන්ගෙන් සහ අනෙකුත් ජාතිකයන්ගේ පැමිණීම නිසා චීනය තරමක අභියෝගයකට මුහුණ දී ඇත. මේ වනවිට දිනකට සාමාන්‍යයෙන් 20,000 ආසන්න පිරිසක් චීනයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීමට චීන බලධාරීහු සඳුඳා (16) පියවර ගත්හ. මේ අනුව එරටට පැමිණෙන සියලු දෙනා නම් කරන ලද විශේෂිත හෝටල්වලට යොමු කර නිරෝධායනය කරන බව චීන බලධාරීහු කීහ.

තනිවම ජීවත්වන, කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භණී මවුවරුන් සහ විවිධ සෞඛ්‍ය අපහසුතා හා රෝගාවලින් පීඩා විඳින් පිරිස් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි චීන බලධාරීහු උපදෙස් දී ඇත.

අවසන් පැය 24 දී චීනයෙන් වාර්තා වී ඇත්තේ මරණ 13ක් පමණි. ඒ අනුව චීනයෙන් වාර්තා වන සම්පූර්ණ මරණ සංඛ්‍යාව 3,226ක් වන අතර එරටින් වාර්තා වන සම්පූර්ණ සමස්ත ආසාදිතයන්ගේ ගණන 80,881කි. එමෙන්ම ඔවුන්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 9,000කට අඩු පිරිසක් යැයි ද චීන වාර්තා සඳහන් කළේය.

වයිරසය මර්දනය කිරීමේදී චීනය මේවනවිට දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර අනෙක් රටවල අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වය නිර්මාණය වී ඇත.

මේ වනවිට චීනයට පිටතින් වාර්තාවන මරණ සහ ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS