චීනයත් ඇමෙරිකන් එන්නත් ඇණවුම් කරලා
‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ සමාගම් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මිලියන 100 ක් මිලදී ගැනීමට සූදානම් බව චීනයේ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක් පවසයි.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ මීට වසරකට පෙර චීනයෙනි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් පළමු ආසාදිතයන් වාර්තා වූයේ 2019 දෙසැම්බරයේය.
අද වනවිට, ලොව රටවල් රැසකින් ආසාදිතයන් වාර්තා වන නමුත්, චීනයේ කිසිදු පළාතකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැත. ඊට හේතුව, චීනය රජය සහ සෞඛ්‍ය අංශ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බැවිනි.
චීනය ද ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇත. ඒ, චීන රජයේ ‘සිනෝෆාම්’ ඖෂධ නිෂ්පාදන සමාගම මැදිහත් වීමෙනි. ‘සිනෝෆාම්’ එන්නත නිපදවීමේ දී චීන හමුදාවේ ද සහාය හිමිවී ඇති බව පැවැසෙයි.
චීනය පවසන අන්දමට ‘සිනෝෆාම්’ එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන අතර, ඉන්දුනීසියාව සහ මැදපෙරදිග කලාපීය රටවල් කීපයක් මේ වනවිටත් එන්නත මිලදීගෙන එය ජනතාවට බෙදාදීම ආරම්භ කර තිබේ. ඇමෙරිකානු ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට වඩා ‘සිනෝෆාම්’ එන්නත මිල අඩු බව ද පැවැසෙයි.
‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් ඇණවුම් කර ඇත්තේ ‘ෂැංහයි ෆෝසම්’ ඖෂධ නිෂ්පාදන සමූහයයි. පළමුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 50 ක් ඇණවුම් කර ඇති බවත්, චීන රජයේ අනුමැතිය‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට හිමිවීමෙන් පසු, ඉතිරි මිලියන 50 ඇණවුම් කරන බවත් ‘ෂැංහයි ෆෝසම්’ ඖෂධ නිෂ්පාදන සමූහය පවසා තිබේ.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

