චීනයට සමාවක් ලැබෙන්නේ නෑ
චීනය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රසායනාගාරයක් තුළ නිපදවා හිතාමතා එය ව්‍යාප්තවීමට ක්‍රියා කළේ නම්, ඒ සම්බන්ධයෙන් චීනයට කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ, ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමිනි.
‘චීනයේ මේ වනවිට හරි අමුතු දේවල් සිදුවෙනවා. ඔවුන්ගේ මරණ සංඛ්‍යාව හිටිහැටියේ වෙනස් වෙලා. ඉහළ ගිහිල්ලා. වයිරසය චීනය විසින් නිපදවනු ලැබූවක් නම්, එය හිතාමතා සමාජයට මුදා හැරියේ නම් එය බරපතල වරදක්. ඒ ගැන පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පවත්වනවා. වයිරසය හිතාමතා සමාජයට මුදා හැරියේ නම් චීනයට කිසිදු සමාවක් නැහැ. අත්වැරදීමකින් යමක් සිදුවුණා නම්, සමාව දෙන්න පුළුවන්’ යැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘කොවිඞ් 19’ වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වූ කොරෝනා වර්ගයේ වයිරසයක් බව පැවැසුවත් එහි සුලමුල තවමත් ලොවට අබිරහසක් බව ලොව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී තිබේ.
වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ආරම්භයේ පටන් ඇමෙරිකාව චෝදනා කළේ වයිරසය වූහාන් රසායනාගාරයක් තුළ නිපදවූවක් බවත්, එය අත්වැරදීමකින් හෝ හිතාමතා සමාජයට මුදා හරිනු ලැබූවක් බවත් ය.
පසුගිය දා ඇමෙරිකානු ෆොක්ස් පුවත් නාළිකාව අනාවරණය කළේ වයිරසය වූහාන් නුවර රසායනාගාරයක නිර්මාණය කරන ලද්දක් බවත්, එය චීනය සැඟවීමට උත්සාහ ගන්නා බවත්ය.
ෆොක්ස් පුවත් නාළිකාව මෙම අනාවරණය කළේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරය. පුවත් නාළිකාව අනාවරණය කළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඇසුරින් තමන්ට ඒ බව දැනගන්න ලැබුණු බව පෙන්වා දෙමිනි.
කෙසේ නමුත් ඇමෙරිකාවෙන් එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ වයිරසය ආරම්භවීම, එහි සුලමුල සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපහැදිලි කරුණු රැසක් ඇති බවත්, ඒවාට නිසි පිළිතුරු සැපැයීමට චීන රජය තවමත් අපොහොසත් වී ඇති බවත්ය. වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වුණු අවස්ථාවේදී, චීන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තමන් ප්‍රශ්න කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)

