චීනයට යන්න සූදානම්



මාලදිවයිනේ නව විදේශ ඇමැති අබ්දුල්ලා ෂහීද් තව නොබෝ දිනකින් චීනයට යෑමටත්, චීනය මාලදිවයනේ ආරම්භ කළ ඉදිකිරීම් ව්‍යාපෘති සහ චීනයෙන් මාලදිවයින ලැබුණු ණය මුදල් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමටත් නියමිතය.

මාලදිවයින පසුගිය රජය චීනය සමඟ ගිවිසුම් රැසකට අත්සන් තබා ඇති අතර, රටට දරාගත නොහැකි අන්දමින් ඩොලර් බිලියන ගණනින් ණය ද ලබා ගෙන ඇත. හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රමුඛ රජය ජනතා අප්‍රසාදවට පත් වූයේත්, පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූයේත් ඒ නිසාය.

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වුණු ඊබ්‍රහීම් මොහොමද් සෝලි ජනතාවට පොරොන්දුවක් දී ඇත්තේ පෙර රජය යටතේ සිදුවුණු මූල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බලා අනවශ්‍ය වියදම් කප්පාදු කරන බවත්, මූල්‍ය අකටයුතුකම්වලට සම්බන්ධ වූ අයට කඩිනමින් දඬුවම් ලබා දෙන බවත්ය.

චීනය සමඟ ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් සහ ලබා ගෙන ඇති ණය සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කර, ඉදිරියට ගත යුත්තේ කිනම් ක්‍රියාමාර්ගයක් ද යන්න විමසා බැලීම නව විදේශ ඇමැති අබ්දුල්ලා ෂහීද්ට ලැබෙන අභියෝගය යැයි නව ජනාධිපති සෝලි මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS