චීනයට කලින් ඇමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයන්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් චීනයෙන් වාර්තා වීමට මාස කීපයකට පෙර, ඇමෙරිකාවේ පැතිර යමින් තිබුණැයි ඇමෙරිකා වසංගත රෝග ව්‍යාප්තිය පාලනය ආයතනය පෙන්වා දෙයි.

‘කොවිඩ් 19’ වයිරසය එම නමින් නම් කෙරුණේත්, එය ගෝලීය වසංගතයක් ලෙස චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්ත වූ අවස්ථාවේදීය. එසේ වූයේ හරියටම මීට වසරකට පෙර, පසුගිය 2019 දෙසැම්බරයේය.

දෙසැම්බර් 31 වැනිදා වනවිට චීනයේ වූහාන් නුවර වැසියන් අතරේ වයිරසය දරුණු ලෙස පැතිර යන්න වූ අතර රෝහල්වල මළසිරුරු ගොඩ ගැසෙන්න විය. කොරෝනා වයිරස පවුලට අයත් ‘සාර්ස් කොව්2’ යනුවෙන් හඳුනා ගෙන තිබුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වයිරසය, ‘කොවිඩ් 19’ යන නිල නාමයෙන් හැඳින්වීමට පටන් ගත්තේ පසුගිය 2020 පෙබරවාරි 11 වැනිදාය. ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතයක් වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළේ 2020 මාර්තු 11 වැනිදාය.

ඇමෙරිකාවෙන් නිල වශයෙන් පළමු ‘කොවිඩ් 19’ රෝගියා වාර්තා වූයේ පසුගිය 2020 ජනවාරි 19 වැනිදා යැයි ඇමෙරිකා වසංගත රෝග ව්‍යාප්තිය පාලනය ආයතනය කියයි.

කෙසේ නමුත් එහි වෛද්‍ය පර්යේෂකයන්, දෙසැම්බර් 31 වැනිදාට සති කීපයකට පෙර, සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වය උත්සන්න වී, නියුමෝනියාවට ගොදුරු වූ රෝගීන්ගේ ගබඩා කළ රුධිර සාම්පල යළි පරීක්ෂාවට ලක් කර ඇත.

ඒ, ‘කොවිඩ් 19’ වයිරසයය ගැන හෝඩුවාවක් සෙවීමටය. ඒ අනුව, ඇමෙරිකාවේ ජනපද නවයක රෝගීන් කිහිප දෙනකුගේ රුධිර සාම්පලවල ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ විෂබීජ තිබී හමුවී ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකා වසංගත රෝග ව්‍යාප්තිය පාලනය ආයතනය මැදිහත් වී, සෙම්ප්‍රතිශ්‍යා සහ නියුමෝනියා රෝගීන්ගේ පැරණි රුධිර සාම්පල පරීක්ෂා කරමින්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පිළිබඳ හෝඩුවාවක් සොයා ඇත්තේ, ඉතාලියෙන් සහ ප්‍රංශයෙන් ද චීනයට පෙර ‘කොවිඩ් 19’ ආසාදිතයන් සිටි බවට තොරතුරු අනාවරණය වීමත් සමඟය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS