ඝාතකයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කෙරේ



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා ඝාතන කළ, 28 හැවිරිදි සුදු අන්තවාදී ඕස්ටේ්‍රලියා ජාතික බ්‍රෙන්ටන් ටරැන්ට් ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණයට හමුවට යොමු කෙරුණු අවස්ථාවේදී, ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂාවට ලක් කරන්නැයි විනිසුරු කැමරන් මැන්ඩර් නියෝග කළේය.

බ්‍රෙන්ටන් ටරැන්ට් ඕක්ලන්ඞ් බන්ධනාගාරයේ රඳවා තැබේ. ඊයේ දිනයේ, බන්ධනාගාර බලධාරීන් බ්‍රෙන්ටන් ටරැන්ට් අධිකරණය හමුවේ පෙනී සිටීමට සැලැස්වූයේ බන්ධනාගාරයේ සිට සජීවීව වීඩියෝ දසුන් ඔස්සේය. ඉදිරියේ දී පැවැත්වෙන නඩු විභාග සඳහා මුහුණ දීමට බ්‍රෙන්ටන් ටරැන්ට් මානසික තත්ත්වය පරීක්ෂා කළ යුතු බව විනිසුරුවරයා පැහැදිලි කළේය.

බ්‍රෙන්ටන් ටරැන්ට් ට මිනීමැරුම් චෝදනා 50 ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා 39 ක් ඇතුළු තවත් චෝදනා රැසක් එල්ල වී ඇත. පසුගිය 15 වැනිදා සිදුවුණු එම ඝාතනයෙන් පසු නවසීලන්ත රජය රටේ ගිනි අවි සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට පියවර ගත් අතර නව නීති ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා එර්ඩන් පවසා ඇත්තේ, ඝාතකයාට ඔහුගේ අන්තවාදී අදහස් ප්‍රසිද්ධ කිරීමට අධිකරණය වේදිකාවක් කර නොදෙන බවත්, තමන් ඝාතනයාගේ නම පවා කීමෙන් වැළකී සිටින බවත්ය.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS