ග්‍රීසියේ ළැව් ගිනි දරුණුයි
ග්‍රීසියේ ඇතන්ස් අගනුවරට උතුරු දෙසින්, දරුණු ලෙස ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
දැඩි වියළි කාලගුණය සහ වියළි සුළං ළැව් ගිනි පැතිරීම වේගවත් කර ඇති බැවින්, ගිනි නිවන භටයන්ට එය පාලනය කිරීම ගැටලුවකි.
ළැව් ගිනිවලින් හානි සිදුවී ඇත්තේ වර්ණවාස් නමැති කඳුකර ගම්මානයටය. මෙම ගම්මානය පිහිටා ඇත්තේ ඇතන්ස් අගනුවර සිට කිලෝ මීටර් 35 ක් දුරිනි.
ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන් 400 දෙනකු යොදවා ඇති බව ද වාර්තා වේ. ඉහළ සිට වතුර ඉසීමට හෙලිකොප්ටර් යානා 13 ක් යොදවා ඇතැයි ද පැවැසෙයි.
ළැව් ගිනි දුම්රාය දසත පැතිර ඇති බවත් වර්ණවාස් ගම්මානයට ඉහළින් අහස තැඹිලි පැහැයක් ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
බලධාරීන් මැදිහත් වී වර්ණවාස් ගම්මානයේ වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව පැවැසෙයි. වර්ණවාස් ගම්මානයේ සිටි වැසියන් ගණන 1,800 කි.