ග්‍රීන්කාඞ්-වීසා අත්හිටුවයි



ඇමෙරිකා රජය විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දෙන වීසා සහ ග්‍රීන්කාඞ් මෙම 2020 වසර අවසන් වනතුරු තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

විදේශිකයන්ට ඇමෙරිකාවේ රැකියා සඳහා ලබා දෙන ග්‍රීන් කාඞ් සහ වීසා මෙසේ තාවකාලිකව අත්හිටුවීමට, ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත්තේ ඇමෙරිකානුවන් සඳහා වැඩි වැඩියෙන් රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය බැවින් යැයි ජනපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, ඇමෙරිකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඇමෙරිකානුවන් මිලියන ගණනකට රැකියා අවස්ථා අහිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් වුණු අතර, ඊට සහභාගී වෙමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ, විදේශිකයන් 5,25,000 පිරිසකට ඇමෙරිකාවට පැමිණීමට නොහැකි වනු ඇති බවය.

එම පිරිස අතර, ඉහළ සුදුසුකම් සහ හැකියාව ඇති තාක්ෂණ ශිල්පීන්, කෘමිකාර්මික කටයුතුවලදී අත් උදව් සපයන්නන්, සමාගම්වල විධායක ප්‍රධානීන් ආදිය ඇතුළත් වන බව ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS