ග්‍රහ වස්තුවක් ගවේෂණය කරයි

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වය ගවේෂණයට යැවූ ‘නිව් හොරයිසන්’ නමැති රොබෝ යානය කුයිපර් ග්‍රහ වළල්ලේ පිහිටි ‘අල්ටිමා තූලේ’ නමැති ග්‍රහ වස්තුව අසලින් ගොස් එහි ඡායාරූප ලබා ගත්තේය.
මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ගවේෂණ යානයක් විශ්වයේ ඈත පිහිටි ග්‍රහ වස්තුවක් අසලින් ගමන් කරමින්, එය ගවේෂණය කළ පළමු අවස්ථාව මෙයයි.
අල්ටිමා තූලේ යනුවෙන් හැඳින්වෙන මෙම ග්‍රහ වස්තුවේ නිල නාමය 2014 එම්.යූ. 69 ය. මෙහි විශ්කම්භය කිලෝ මීටර් 30 කි. සෞරග්‍රහ මණ්ඩලය බිහිවෙද්දී, නිර්මාණය වූ ග්‍රහ වස්තුවක් ලෙස නාසා විද්‍යාඥයන් අල්ටිමා තූලේ හඳුන්වා දී ඇත. අල්ටිමා තූලේ ගවේෂණය මගින් විශ්වයේ රහස් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව නාසා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය නිව් හොරයිසන් යානය අභ්‍යවකාශයට යවනු ලැබුවේ 2006 ජනවාරියේය. නිව් හොරයිසන් යානය සෞරග්‍රහ මණ්ඩලය කෙළවර, කිලෝ මීටර් බිලියන 5 ක් දුරින් පිහිටි කුරු ග්‍රහයා වන ප්ලූටෝ ගවේෂණය සිදු කළේ 2015 ජූලි මාසයේදීය. කුයිපර් ග්‍රහ වළල්ලේ පිහිටි අල්ටිමා තූලේ ග්‍රහ වස්තුව පිහිටා ඇතැයි පැවැසෙන්නේ කිලෝ මීටර් බිලියන 6.5 ක් දුරකිනි.
(ඒ.එෆ්.පී.)

