ග්ලැසියරයට බිලිවුණු ගණන ඉහළ යයි

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, ‘නන්දා දේවි’ ග්ලැසියරය කඩා වැටීමත් සමඟ සිදුවුණු මහා ව්‍යසනයෙන් මියගිය ගණන ඊයේ (8) සවස් වනවිට 20 තෙක් ඉහළ ගිය අතර, අතුරුදන් වූ ගණන 150 ඉක්මවීය.
අතුරුදන් වූවන් සෙවීමට දිවා රෑ පුරා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන අතර, ඉන්දීය හමුදා සොල්දාදුවන් දහසකට ආසන්න පිරිසක් ද අතිරේක හමුදා බලඇණියක් ද යොදවා ඇතැයි පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් සොයා බලන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
‘නන්දා දේවි’ ග්ලැසියරය හිමාල අඩවියේ පිහිටයි. ඊයේ (7) ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 11 ට පමණ මෙය හිටිහැටියේ කඩා වැටීමෙන් ‘දූලි ගංගා’ නදියට මහා ජල කඳක් එක් විය.
ප්රචණ්ඩ වූ එම මහා ජල කඳ හේතුවෙන් ‘රිශිගංගා’ ජල විදුලි බලාගාරය පිහිටි වේල්ල කැඩී සුනුවිසුණු වූයේ, ඒ අවට ‘ටැපොවාන්’ පළාත මුළුමනින්ම යට කරමිණි. සිද්ධිය දුටුවෝ පවසා ඇත්තේ, එය බොලිවුඩ් සිනමා පටයක දසුනක් වැනි බවය.
ජංගම දුරකතනවලින් පටිගත කෙරුණු ජල කඳට හසුවී වේල්ල කැඩී බිඳී සිදුවන විනාශය දැක්වෙන දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. ග්ලැසියරය හිටිහැටියේ කඩා වැටුණේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත. එසේ වුවත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ග්ලැසියර් කඩා වැටීම (ඛාදනය) සිදුවූයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස බවය.
දෙහර්ඩුම් නුවරදීය (එන්.ඩී.ටීවී/රොයිටර්)

