කොරෝනා විකෘති ප්‍රභේදයක් හමුවෙලා

ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයේ ජාන විකෘති වූ නව ප්‍රභේදයක් මැලේසියාවෙන් හමුවී ඇති බවත්, එය සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා 10 ගුණයකින් ප්‍රබල බවත් වෛද්‍යවරු බිය පළ කරති.
මැලේසියා වෛද්‍යවරුන් සහ ‘මැලේසියා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ’ විද්‍යාඥයන්ට මෙම නව ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදය සොයා ගැනීමට හැකි වී ඇත්තේ කොරෝනා රෝගීන් අතරිනි.
මෙම නව ප්‍රභේදය බිහිසුණු එකක් වී ඇත්තේ එහි පැතිරීම වේගවත් නිසාත් කිසිදු ඖෂධයකට එය අඩපණ කළ නොහැකි නිසාත් යැයි වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
‘කොවිඞ් 19’ වයිරස වසංගතය මනුෂ්‍යයන් අතරේ පැතිරෙන්නේ එය සැමවිටම විකෘතිකරණයට ලක් වීමෙනි. වයිරසවල ස්වභාවය මෙය බවත්, වයිරසවලට එන්නත් හෝ ඖෂධ නිර්මාණය අසීරු වන්නේ ද මේ හේතුව නිසා බවත් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම අසීරු වී ඇත්තේ ද එහි වෙනස්වල ස්වභාවය නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
හඳුනා ගනු ලැබූ වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් සෙසු කොරෝනා ආසාදිතයන්ට වඩා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ද මැලේසියා සෞඛ්‍ය අමත්‍යාංශ ප්‍රධානී නූර් හිෂාම් අබ්දුල්ලා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසුවේය.
එම නව වයිරස ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බව ද සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වී ඇති බව එම අවස්ථාවේදී අනාවරණය විය.
මැලේසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 9,200 දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ ගණන 8,859 කි. තවමත් මැලේසියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින්නේ 25 දෙනකු පමණක් යැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මැලේසියාවෙන් වාර්තාවන මරණ ගණන 25 කි.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 24,827,500 ක් දක්වා ඉහළ ගියේය. ලොව පුරා කොරෝනා වයිරස මරණ වාර්තා වූයේ 7,73,095 ක් ලෙසය. සම්පූර්ණ සුවය ලැබූ ගණන 14,564,827 කි.
වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනි ස්ථානයේ ඇත්තේ බ්‍රසීලයයි. ඉන්දියාව තෙවැනි ස්ථානයට පත්වී ඇත්තේ ආසාදිතයන් 2,648,353 ක් වාර්තා වීමත් සමඟය.
(රොයිටර්)

