කොරෝනා වළක්වන එන්නත මුලින්ම ලැබුණු අත්තම්මා

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ සමාගම් එක් වී නිපදවූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත අද (8) බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීම ආරම්භ විය.
එන්නත් පළමුවෙන් ලබා දුන්නේ අවුරුදු 85 ට වැඩි අවදානම් වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට යැයි පැවැසිණි. එන්නත් ලබා දීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේය.
අද (8) බ්‍රිතාන්‍යයේ වේලාවෙන් උදෑසන 6.30 ට පළමු එන්නත ලබා දුන් පළමු තැනැත්තිය 90 හැවිරිදි අත්තම්මා කෙනකු වන මාග්‍රට් කීනන්ය. මැය කොවෙන්ටි පළාතේ පදිංචිකාරියකි.
මාග්‍රට් කීනන්ගේ 91 වැනි උපන් දිනය ලබන සතියට යෙදී ඇති අතර, එන්නත ලබා ගනිමින් සතුටට පත් වුණු ඇය කියා සිටියේ තමන්ට කල්වේලා ඇතිව උපන්දින තෑග්ගක් හිමිවුණු බවය. කීනන් දියණියකගේත් පුතකුගේත් මවක වන අතර ඇයට මුණුබුරු පිණිබිරියන් සිවු දෙනෙකි.
බ්‍රිතාන්‍යය පුරා රෝහල් 50 ක් මගින් එන්නත් ලබා දීම සිදුවුනු බව ද වාර්තා වේ. කොරෝනා ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති සෙසු එන්නත් සේම ‘ෆයිසර්-බයෝඇන්ටෙක්’ එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, දෙවැනි එන්නත ලබා දීම සිදුවන්නේ පළමු එන්නත ලබා දී දින 21 කට පසුවය. වයිරසයට එරෙහිව සම්පූර්ණ ප්‍රතිශක්තියක් සිරුරේ නිපදවීම ඒ අනුව සිදුවෙයි.
පළමු අදියර යටතේ එන්නත ලබා දීමට නියමිත පිරිස ලක්ෂ 5 කට වැඩි යැයි ද පැවැසිණි. බ්‍රිතාන්‍ය රජය පවසා ඇත්තේ රටේ සියලු දෙනාට ප්‍රමාණවත් අයුරින් එන්නත් මිලදී ගෙන අවසන් බවය. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 1/4 ක පිරිසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවැසෙයි.
බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඇතැමුන් ‘කොවිඩ් 19’ වයිරස ගැන සැකයෙන් කතා කරන අතර ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ ඖෂධ නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ ලාභයට වෙනුවෙන් එන්නතක් ඇතැයි පවසමින් බොරුවක් කරන බවය. එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ එවැනි පිරිස් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊට ප්‍රතිචාර දක්වමින්, එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමට හෝ අවන්හල්වටය යෑමට හෝ අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය ලේකම්වරයා මැට් හැන්කොක් පවසා තිබේ. එන්නත ලබා ගන්නා අයට විශේෂිත හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමත්‍යාංශය කටයුතු යොදා ඇති බව පැවැසෙයි. කෙසේ නමුත් එම හැඳුම්පත ව්‍යාජ ආකාරයට නිර්මාණය කළ හැකි යැයි ද මේ වනවිට බියක් හටගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධය වාර්තා පවසයි.
ලන්ඩනයේදීය (ඩේලිමේල්)

