කොරෝනා වළක්වන ඉබෝලා නාශක ඔසුව



ඉබෝලා වයිරස නාශකයක් ලෙස නිපදවූ ‘රෙම්ඩෙසෙවියර්’ නමැති ඖෂධය එන්නත් කිරීමෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගත හැකි යැයි පර්යේෂණවලින් තහවුරු වී ඇති බව ඇමෙරිකන් වෛද්‍යවරු කියති.

‘රෙම්ඩෙසෙවියර්’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධයකි. එය ඇමෙරිකාවේ ‘ගිලීඞ් සයන්ස්’ වෛද්‍ය පර්යේෂණ ආයතනය නිර්මාණය කරන ලද්දකි. ඒ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වෙනුවෙන් නොව, 2014 සිට 2016 තෙක් කාලයේ අප්‍රිකාවේ වසංගත තත්ත්වයක් ඇති කළ ඉබෝලා වයිරසය නැසීමේ අරමුණ ඇතිවය.

‘රෙම්ඩෙසෙවියර්’, වෙනත් කොරොනා පවුලේ වයිරස වන ‘සර්ස්’ සහ ‘මර්ස්’ යන වයිරස අඩපණ කිරීමට ද හැකියාව ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ‘සර්ස්’ යනු ‘කොවිඞ් 19’ වයිරසය මෙන්ම චීනයෙන් ආරම්භ වී ආසියානු රටවල් කිහිපයකට පැතිරුණු වයිරසයකි.

චීනයේ වූහාන් නුවර හුබෙයි පළාතෙන් ඇරැඹුණු ‘කොවිඞ් 19’ වයිරසය අද වනවිට ලෝක වසංගත තත්ත්වයක් බවට පත් වී ඇති අතර චීනයෙන් පිට වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියනය පසු කර ඇත. එසේ තිබියදි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහස වී ඇත්තේ අදියරෙන් අදියර ‘ලොක්ඩවුන්’ කළ ඇමෙරිකාව යළි විවෘත කිරීම කෙරෙහිය.

ඇමෙරිකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස 1984 වසරේ සිට කටයුතු කරන විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචී පවා පෙන්වා දී ඇත්තේ, ‘රෙම්ඩෙසෙවියර්’ නමැති පර්යේෂණ මට්ටමේ පවතින ඔසුවට ‘කොවිඞ් 19’ වයිරසය අඩපණ කිරීමට හැකියාව ඇති බවය. වයිරස සම්බන්ධයෙන් විශේෂඥයකු වන ෆවුචී, ඇමෙරිකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ 1984 වසරේ සිටය. ඇමෙරිකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනය ‘කොවිඞ් 19’ ආසාදිත රෝගීන් 1,063 දෙනකුට  ‘රෙම්ඩෙසෙවියර්’ ඔසුව එන්නත් කර ඇති අතර සිවු දිනකදී, ඔවුන්ගේ සිරුරෙන් ‘කොවිඞ් 19’ වයිරසය අඩපණ වුණු බවත් වාර්තා වේ.

මීයන් සහ වදුරන් යොදා ගනිමින්, උන්ගේ සිරුරුවලට ‘රෙම්ඩෙසෙවියර්’ ඔසුව එන්නත් කර, ඉන්පසු උන්ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වීමට ඉඩ හැරිය නමුත්, වයිරසය ආසාදනය නොවූ බව ඇමෙරිකාවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍ය පර්වේෂකයන් පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS