කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන බව චීන වෛද්‍ය පර්යේෂකයන් සොයාගෙන ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කර තිබේ.

මෙම අනාවරණය සිදුකර ඇත්තේ චීනයේ හෙනාන් පළාතේ ෂැංග්කී රෝහලේ වෛද්‍ය පර්යේෂකයන්ය. ඒ, පසුගිය කාලය පුරාවට ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගේ ශුක්‍රාණු සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුවය.

වයස අවුරුදු 125 ත් 50 ත් අතර වයස් කාණ්ඩයේ වයිරස ආසාදිතයන් 38 දෙනකුගෙන් ලබා ගත් ශුක්‍රාණු පරීක්ෂා කළ බවත්, එම ශුක්‍රාණුවල වයිරස විෂබීජ තිබී හමුවුණු බවත් වෛද්‍ය පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

‘කොවිඞ් 19’ යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වී ඉන්පසු මිනිසුන් අතරේ විකෘති වෙමින් පැතිරෙන කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. වයිරසය වවුලන් සහ කබල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැක කෙරේ.

වයිරසය ආරම්භ වූයේ පසුගිය 2019 දෙසැම්බරයේය. වයිරසය ‘කොවිඞ් 19’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇත්තේ එය කොරෝනා වයිරසයක් වීමත්, 2019 දී සොයා ගැනීමත් අනුවය.

කෙසේ නමුත් නවතම විමර්ශනවලට අනුව, වයිරසය චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වන්න ඇත්තේ පසුගිය දෙසැම්බරයේ නොව ඔක්තෝබරයේ හෝ නොවැම්බරයේ යැයි පැවැසෙයි. මේ බව වඩාත් තහවුරු වූයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ප්‍රංශ රෝහලකට ඇතුළත් කළ නියුමෝනියා රෝගියකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS