කොරෝනා කරලට පළමු අනුමැතිය



'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ සමාගම නිපදවූ 'මොනුපියර්වියර්' නමැති බෙහෙත් කරලට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, 'මොනුපියර්වියර් සඳහා අනුමැතිය පළමුවෙන්ම ලබා දුන් රට වන්නේ මහා බ්‍රිතාන්‍යයයි.

'මොනුපියර්වියර්' වයිරස නාශක ඖෂධයක් වන අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වීමෙන් අනතුරුව, වෛද්‍ය නිර්දේශ මත 'මොනුපියර්වියර්' නිවසේ සිට භාවිතයට ගැනීම කළ හැකි බවත්, එහි අතුරු ආබාධ කිසිවක් නොමැති බවත් 'මර්ක්' සමාගම පෙන්වා දී ඇත.

'මොනුපියර්වියර්' ඖෂධය භාවිතයට ගැනීමේ දී 'කොවිඩ් 19' රෝගීන්ට රෝහල්ගතවීමට සිදුනොවන අතර, මරණයට පත්වීමට  ද අවම වෙයි. මේ බව සියලුම සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇති බව 'මර්ක්' සමාගම පැහැදිලි කර තිබේ.

සායනික පර්යේෂණවලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක්, කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපියවියර්' ලබා දීම සිදු කළ බව ද 'මර්ක්' සමාගම පවසා ඇත.

'මොනුපියර්වියර්' හදිසි භාවිතයට සුදුසු යැයි අවසර ඉල්ලමින් 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇත.

ඊට අමතරව, 'මොනුපියර්වියර්' කරල ගැන පැහැදීමෙන් මහා බ්‍රිතාන්‍යය ඇතුළු ලොව ප්‍රබල පෙළේ රටවල් රැසක් 'මර්ක්' සමාගමෙන් එම සායනික වාර්තා ලබාගෙන ඒවා අධ්‍යයනය කර කළ බව ද පැවැසෙයි. මහා බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය 'මොනුපියර්වියර්' භාවිතයට සුදුසු යැයි අනුමත කළේ ඒ අනුවය.

ඇමෙරිකන් ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ තවමත් 'මොනුපියර්වියර්' කරලට අනුමැතිය දී නැත්තේ, ඒ ගැන සායනික වාර්තා අධ්‍යයනය කරමින් පවතින බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු සැණින් 'මොනුපියර්වියර්' ඇණවුම් කිරීමට රටවල් රැසක් මේ වනවිටත් සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වී, කිසිදු ලාභයක් අපේක්ෂා නොකර 'මොනුපියර්වියර්' කරල් දිළිඳු රටවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීම කෙරෙහි ද මේ වනවිටත් 'මර්ක්' සමාගමේ අවධානය යොමු වී ඇතැයි පැවැසෙයි.

(බීබීසී)


RECOMMEND POSTS