කිම් ජෝ උන් - ට්‍රම්ප් හමුවට බාධා



න්‍යෂ්ටික අවිහරණයට තමන් කැමැත්තෙන් සූදානම් නමුත්, එසේ කරන්නැයි ඇමෙරිකාව බලපෑම් කළොත්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුව නොපැවැත්වෙනු ඇතැයි උතුරු කොරියාව අනතුරු අඟවා ඇත.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව පැවැත්වීමට නියමිත ලබන ජූනි 12 වැනිදාය. එහ හමුව නොපැවැත්වෙනු ඇතැයි අනතුරු අඟවා ඇත්තේ උතුරු කොරියා නියෝජ්‍ය විදේශ ඇමැති කිම් ක්යේ ගුවාන්ය.

ඒ, ඇමෙරිකා රාජ්‍ය ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

බෝල්ටන් පවසා ඇත්තේ න්‍යෂ්ටික අවිහරණය කරමින් යටත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රජය උත්සාහ ගන්නා බවටය.

එපමණක් නොව, උතුරු කොරියාව ලිබියාවක් බවත්, ලිබියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ක්‍රියා කළ ආකාරය උතුරු කොරියාව සම්බන්ධයෙන් ද අනුගමනය කරන බව ජෝන් බෝල්ටන් වැඩි දුරටත් පවසා ඇත.

තමන් ලිබියාවට සමාන කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව උතුරු කොරියා නියෝජ්‍ය විදේශ ඇමැති, බෝල්ටන්ට දන්වා යවා ඇතැයි ද වාර්තා වේ.

නියෝජ්‍ය විදේශ ඇමැති කිම් ක්යේ ගුවාන් උතුරු කොරියාවේ කෘතහස්ථ දේශපාලන චරිතයකි. ඔහු කිම් ජොන් උන්ගේ උපදේශකවරයකු ද වෙයි. අතීතයේ කිම් ජොන් උන්ට පෙර, ඔහුගේ පියා සහ සීයා විදේශ සමඟ සාම කතා පවත්වන්න උත්සාහ කළ අවදියේදී ද ඒ සම්බන්ධයෙන් මැදිහත් වූ තැනැත්තකු ලෙස කිම් ක්යේ ගුවාන් සැළකෙයි.

ඇමෙරිකාවට මෙසේ විරෝධය දක්වමින්, අද (16) දිනයේ දකුණු කොරියානුවන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා වටයක් අවලංගු කර දැමීමට ද උතුරු කොරියාව කටයුතු කළේ යැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS