කිම් ජොන් උන් ගැන ට්‍රම්ප් පැහැදිලා



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් තමන් පැහැදීමට පත්ව සිටිනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, උතුරු කොරියානු නායකයා සාමයට සූදානම් බව පැවැසීමත් සමඟය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් මෙසේ කියා සිටියේ ඒ, දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පැමිණි නියෝජිත පිරිස හමුවුණු අවස්ථාවේදීය.

දකුණු කොරියාව සමඟ මිතුදම් තරකර ගැනීමටත්, පවතින න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර සාමකාමී ලෙස එම අර්බුදය විසඳා ගැනීමටත් උතුරු කොරියාව අවංකව කැමැත්ත පළ කර ඇති බවත්, එය සතුටට කරුණක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නවා යැයි පොරොන්දුවක් දෙමිනි. උතුරු කොරියානුවන්ගෙන් එල්ල වන තර්ජනවලට තර්ජනවලින් ප්‍රතිචාර දැක්වූවත්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැමවිටම කියා සිටියේ නිසි වාතාවරණයක් පවතින්නේ නම්, උතුරු කොරියානු නායකයා හමුවී අර්බුදය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.

මේ අතර දකුණු කොරියානු රජයේ නියෝජිතයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණීමට නියමිත බව ද පැවැසෙයි.

එම නියෝජිතයන් දෙදෙනා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට ද සූදානමින් සිටින බවත්, උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව යහපත් සබඳතා පැවැත්වීම චීනයේ ද පැසැසුමට හේතුවක් වී ඇත. චීනය පවසා ඇත්තේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵලනෙලා ගැනීමට කටයුතු කරන ලෙසය. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය ස්ථාපිත වනු දැකීම චීනයේ බලාපොරොත්තුව යැයි ද චීනය වැඩිදුරටත් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS