කිම් ජොන් උන්ගේ කනගාටුව

උතුරු කොරියා නායක කිම් ජොන් උන් දකුණු කොරියා රජයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, උතුරු කොරියා දේශසීමා මුර සෙබළුන් දකුණු කොරියානු ධීවර අමත්‍යාංශ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කොට, ඔහුගේ සිරුර පුළුස්සා දැමීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.
දකුණු කොරියානු ධීවර අමත්‍යාංශ නිලධාරියාට වෙඩි තැබීම සහ සිරුර පුළුස්සා දැමීම තමන් කිසිසේත් අනුමත නොකරන බවත්, ඒ සම්බන්ධයෙන්, කනගාටුව පළ කරන බවත් නායක කිම් ජොන් උන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. උතුරු කොරියා නායකයා පෞද්ගලිකව දකුණු කොරියාවෙන් සමාව ඉල්ලීමක් කළ පළමු අවස්ථාව ද මෙය වෙයි.
‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් උතුරු කොරියාව අසල්වැසි දකුණු කොරියාව සමඟත් චීනය සමඟත් දේශසීමා වසා දමා ඇති අතර, අනවසරයෙන් දේශසීමා උල්ලංගනය කරමින් උතුරු කොරියාවට පැමිණෙන ඕනෑහ අයකුට වෙඩි තබන බවට අනතුරු ඇඟවීම් කර ඇත.
බෝට්ටුවකින් මුර සංචාරයක යෙදී සිටිද්දී අතුරුදන් වුණු ධීවර අමත්‍යාංශ නිලධාරියා, උතුරු කොරියා දේශසීමාව උල්ලංගනය කර තිබේ. දේශසීමාවේ සිටි උතුරු කොරියා සෙබළුන් ඔහුට වෙඩි තබා පසුව සිරුර පුළුස්සා ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු යැයි බිය පළ කරමිනි.
උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වන්නේ නැත. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)

