කාශ්මීර ගැටලුව රටේ අභ්‍යන්තර අර්බුදයක්



මුස්ලිම් බහුතරයක් වෙසන ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින්  හටගත් අර්බුදය, ඉන්දියාවේ අභ්‍යන්තර ගැටලුවක් බව ඉන්දීය රජය පාකිස්තානයට පැවැසීය.

ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය මෙසේ පැවැසුවේ, ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය ක්‍රියා කරන ආකාරය විවේචනය කරමින්, පාකිස්තානය ඉන්දියාව සමඟ සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කළ නිසාය.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස එරට ආරක්ෂක මණ්ඩලය රැස්විය. එහිදී ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඉම්රාන් තීරණය කළේය.

ඉන්පසු පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොද් කුරේෂි කියා සිටියේ පාකිස්තානයත් ඉන්දියාවත් අතර වෙළෙඳ සබඳතා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත්, ආපසු ඉන්දියාවට යන්නැයි පාකිස්තානයේ රැඳී සිටින ඉන්දීය තානාපති අජේ බිෂ්රා ට දැනුම් දී ඇති බවත්ය.

අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය යටතේ ඉන්දියාව වෙනුවෙන් පත් කළ තානාපති මොයින් උල් හක්, නවදිල්ලියට යෑමට සූදානමින් සිටි අතර, ඔහුට නවදිල්ලිය බලා නොයන්නැයි අගමැති ඉම්රාන් දන්වා ඇතැයි ද රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් විදෙස් ඇමැති ෂා මොහොද් කුරේෂි වැඩි දුරටත් පවසා තිබේ.

පාකිස්තානය ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කරන්නේ නම්, එය පාකිස්තානයේ කැමැත්ත බවත්, පාකිස්තානයට ඔවුන්ට කැමැති දෙයක් කළ හැකි බවත් ඉන්දීය විදේශ අමත්‍යාංශය දන්වා ඇත. ඉන්දු කාශ්මීරයේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් සම්බන්ධයෙන් ඇති කරගත් නව කෙටුම්පත කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන බව ඉන්දීය රජය අවධාරණය කර තිබේ.

‘වසර 70 ක් පුරා අපේ ව්‍යවස්ථාවට ඇතුළත් 370 වැනි වගන්තිය සම්බන්ධයෙන් පාකිස්තානය කිසිදු තැකීමක් කළේ නැහැ. ඉන්දු කාශ්මීරය වැසියන් ගැන පාකිස්තානයට හිටිහැටියේ අනුකම්පාවක් ඇතිවෙලා.’ යැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඉන්දු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේ විශේෂ බලතල පවරා දී තිබුණු අතර පසුගිය පස් වැනිදා ඉන්දීය අගමැති රාම් නාත් කොවින්ද්ගේ අණින් එම වගන්තිය අහෝසි කෙරුණි. ඉන්පසු ඉන්දීය පාර්ලිමේන්තුවේදී ජම්මු කාශ්මීරය සහ ලඩාක් යන පළාත් සඳහා නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමට නව පනත් කෙටුම්පතක් සම්මත විය. ඒ අනුව, ජම්මු සහ කාශ්මීර් යන පළාත් ඉන්දීය මධ්‍යම රජයේ පාලනයට නතු විය. ලඩාක් පළාත් ජම්මු කාශ්මීර මහාධිකරණයේ පාලනය යටතට පත් කෙරුණි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පෙන්වා දී ඇත්තේ මෙය ඉන්දියාවේ ව්‍යවස්ථාවට අනුව ගත් තීරණයක් වුවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවය. ඉන්දීය රජය ‘තනිවම’ ගත් එම තීරණයෙන්, ඉන්දු කාශ්මීර වැසියන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි පාකිස්තාන අගමැතිවරයා පෙන්වා දී තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS