කාබුල් බෝම්බයට 98 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට ඊයේ  (27) එල්ල වුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 98 ක් බවත් තුවාල ලැබූ ගණන 158 ක් බවත් එරට රය කියයි.

පුපුරන ද්‍රව්‍ය අටවා තිබුණේ ගිලන් රථයක් තුළය. පිපිරීම සිදුවූයේ කාර්ය බහුල වීදියකය. ප්‍රහාරයෙන් අසල පිහිටි ගොඩැනැගිලි රැසකට සහ මෝටර් රථවලට හානි සිදුවිය.

පසුගිය මාස කිහිපයේ කාබුල් අගනුවර සිදුවුණු ප්‍රබලතම බෝම්බ පිපිරීම මෙය යැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණි. තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බෝම්බ ප්‍රහාරයේ වගකීම ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඇෆ්ගන් තලේබාන්වරුන් සහ ඔවුන් සමඟ එක් වී සිටින අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් විසින් බාර ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි කරන බවට තලේබාන් සංවිධානයත්, අයි.එස්.අයි.එස්. සංවිධානයත් මෙම වසර ආරම්භයේ දී ප්‍රතිඥා දුන්නේය. පසුගිය සතියේ කාබුල් අගනුවර සුඛෝපබෝගී හෝටලයකට ද ත්‍රස්තයෝ කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළහ.

පෙරේදා දිනයේ කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරය තරයේ හෙලා දකිමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කළේය. ට්‍රම්ප් කියා සිටියේ තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව තමන් වහා ක්‍රියා මාර්ගයක් ගන්නා බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS