කාන්තාවන් සුන්නත් කළ ඇමෙරිකානු වෛද්‍යවරිය අත්අඩංගුවේ



ඇමෙරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියක් විසින් ගැහැනු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ  (සුන්නත් කිරීමේ) සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නීය.

මිචිගන් ප්‍රාන්තයේ සිට මෙම වෛද්‍යවරියගේ සායනය වෙත ගිය ඇතැමුන්ට මෙය රහසක්ව තබාගන්නා ලෙස වෛද්‍යවරිය පවසා තිබූ බවද ඔවුහු පවසති.ඩිට්‍රොයිට් නගරයේ අධිකරණය හමුවට ඉදිරිපත්කළ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන ඇත.

ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි සුන්නත් සැත්කම් කර ඇති බව පොලීසිය පවසයි.

බලධාරීන් වෛද්‍යවරිය පරීක්‍ෂාවට ලක්කළේ ලැබුණු ඔත්තුවකට අනුවය.අදාළ චෝදනාවට වැරදිකාරිය වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට ඇයට සිදුවනු ඇත.යෝනි සුන්නත ඇමරිකාව තුළ නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත්කෙරුණේ 1996 වසරේදීය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්නන් සමග ස්වේච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය නගර්වාලා ඇයට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් පැමිණිලි පක්ෂය පවසන්නේ ඇය සිදුකර ඇති භයානක සහ අමානුෂික ක්‍රියාවට සමාජයේ වඩාත්ම අසරණ පිරිසක් ගොදුරුවී ඇති බවය.

"ගැහැනු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන අමානුෂික වධහිංසාවක් වන යෝනි සුන්නත තවමත් සිදුවෙමින් පවතින දෙයක්. ඇමරිකාව තුළ එය අපරාධයක් ලෙසටයි සැලකෙන්නෙ" ඇමරිකානු නීතිඥයෙකු වන ඩනියෙල් ලෙමිෂ් පෙන්වා දෙයි.

"නවීන සමාජය තුළ මේ චාරිත්‍රයට කිසිසේත්ම ඉඩක් නැහැ. එයට වැරදිකරුවන් වන අයට පළාත් නීතිය අනුව දඬුවම් හිමිවෙනවා" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි

 

 

 

 


RECOMMEND POSTS