ඔබාමා ‘පොසිටිව්’

ඇමෙරිකා හිටපු ජනාධිපති බැරුක් ඔබාමා ට කොව්ඩි 19 ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් මාධ්‍ය මෙසේ වාර්තා කළේ හිටපු ජනාධිපති ඔබාමා ප්‍රසිද්ධියට පත් කළ ට්විටර් පණිවුඩයක් ද උපුටා දක්වමිනි. ‘දින කීපයක පටන් උගුරේ වේදනාවක් සහ කැසීමක් තිබුණා. වෙන කිසිම අසනීප තත්ත්වයක් නැහැ. ඒත් මා කොවිඩ් පරීක්ෂණයකට යොමු වුණා. එහිදී තහවුරු වුණා මා කොවිඩ් පොසිටිව් බව.’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
ඔබාමා බිරිඳ මෙන්ම හිටපු ජනාධිපති ආර්යාව ද වන මිෂෙල් ඔබාමා ද ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කළ බවත් ඇයට වයිරසය ආසාදනය වී නොමැති බවත් පැවැසෙයි.
හිටපු ජනාධිපති බැරුක් ඔබාමා (60), බිරිඳ මිෂෙල් (58) කොවිඩ් 19 වයිරසයට එරෙහි පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන ඇතැයි පැවැසෙයි.
තවමත් ලොව ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් දිනකට වාර්තා වන ආසාදිතයන් ගණන 35,000 කට වැඩි යැයි වාර්තා වේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති බැරුක් ඔබාමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබේ. ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ඉතාමත් සමීප මිතුදම් පැවැත්වීය.
(රොයිටර්)

