එන්නත ලබා ගනිමින් බයිඩන් ට්‍රම්ප්ට තුති පුදයි



‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් අවස්ථාවේ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන්ට, ධුරයේ රැදී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තුති කිරීමට අමතක නොකළේය.

‘ෆයිසර්’ යනු ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, ඔවුන් මෙම ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමඟ එක් වෙමිනි. ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වළක්වන එන්නතක් කඩිනමින් නිපදවන්නැයි ‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්’ සමාගම් එක් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මතය. ‘ෆයිසර්’ සමාගම ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුල් කරමින්, එන්නත නිපදවීමට මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ ට්‍රම්ප් පරිපාලනයයි.

‘ෆයිසර් එන්නත අද ඇමෙරිකානුවන්ට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ස්තුති කළ යුත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට. ඔහුගේ පරිපාලනය, ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් හවුල් කරමින්, එන්නතක් කඩිනමින් උපදෙස් සුන්නේ පසුගිය මාර්තු මාසයේ. එහි ප්‍රතිඵලය අද අපට ලැබී තිබෙනවා. ඒ නිසා අප කවුරුත් ට්‍රම්ප්ට ස්තුති පුද කළ යුතුයි’ යැයි බයිඩන් එන්නත ලබා ගනිමින් පැහැදිලි කළේය.

බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ජිල් ද ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෝහලක දී එන්නත ලබා ගත් බව ඊයේ (21) වාර්තා විය. ඊට අමතරව නව උප ජනාධිපති ලෙස තේරී පත්වී සිටින කමලා හැරිස් සහ ඇගේ ඩග් එම්හොෆ් ද ඊයේ දිනයේ එන්නත ලබා ගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

78 හැවිරිදි බයිඩන් එන්නත ලබා ගත් අවස්ථාව සජීවීව ඇමෙරිකන් පුවත් සේවා ඔස්සේ විකාශය විය. බයිඩන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගත්තේ එය ආරක්ෂිත බව ඇමෙරිකානුවන්ට පෙන්වමින්, එන්නත ලබා ගැනීමට ඇමෙරිකානුවන් දිරි ගැන්වීමටය. ‘ෆයිසර්’ එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, පළමු මාත්‍රාව ලබා දී දින 21 කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි. ‘කොවිඩ් 19’ වයිරසයට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ ඉන්පසුවය. එන්නත ලබා ගන්නා අයට විශේෂ ඩිජිටල් කාඩ්පතක් ද හිමිවෙයි.

‘අප සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතුයි. විශේෂයෙන් එලැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ. මුඛ ආවරණ පැලඳීම සමාජ දුරස්ථභාවය රැක ගැනීම අප කළ යුතුයි. අත්‍යාවශ්‍ය රාජකාරියක් නැතිනම් නිවසින් පිට වෙන්න එපා. වසංගත රෝග වැලැක්වීමේ විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි වැනි විශේෂඥයන්ගේ උපදෙස් සැමවිටම පිළිපඳින්න’ යැයි බයිඩන් ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS