එන්නත ඇමෙරිකානුවන්ට



ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ජර්මනියේ බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුලේ නිපදවූ ‘කොවිඩ් 19’ ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත අද (14) සිට ඇමෙරිකානුවන්ට ලබා දීම ආරම්භ වූ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ තහවුරු කළේ, එන්නත ලබා ගැනීමේ අදහසක් තමන්ට නොමැති බවය.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් තැකීමක් කරන්නේ නැත. ඇමෙරිකාව තුළ වයිරසය ඉහවහා ගියේ ද ට්‍රම්ප් පරිපාලනය වයිරසය අවතක්සේරු කළ නිසා යැයි චෝදනා එල්ල වී ඇත. පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වීමට එක් හේතු සාධකයක් වූයේ ද ඔහුගේ පරිපාලනය කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් වීමය.

එන්නත එපා කී ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ තමන් එන්නත ප්‍රතික්ෂේප නොකරන බවත්, ඉදිරියේ දී සුදුසු පරිදි සුදුසු අවස්ථාවක එය ලබා ගන්නා බවය.

ජනාධිපතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. කෙසේ නමුත්, රෝහල්ගත වී දින 3 කින් ට්‍රම්ප් සුවය ලැබුවේය. ඒ, වෛද්‍යවරුන් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ රැසක් ට්‍රම්ප්ට ලබා දීම නිසාය. තමන් වයිරසය ආසාදනය වී සුවය ලැබූවකු බැවින්, එන්නතක් ලබා ගැනීමට හදිසි නොවන බව ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියා, පුතු බැරන් ද කොරෝනා ආසාදනය වී සුවය ලැබූහ.

ට්‍රම්ප් එන්නත ප්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවක් වන්නේ ඔහු වයිරසය ආසාදනය වී සුවය ලැබීමය. වෛද්‍යවරුන් පෙන්වා දෙන අන්දමට ‘කොවිඩ් 19’ ආසාදනය වී සුවය ලබන්නන්ගේ සිරුරේ ස්වභාවිකව ඇතිවන ප්‍රතිශක්තිය පවතින්නේ කෙටි කාලසීමාවකට පමණි. ‘කොවිඩ් 19’ වයිරසය එකම පුද්ගලයකුට වාර ගණනාවක් ආසාදනය විය හැකි බව වෛද්‍යවරුන් පැහැදිලි දී තිබේ.

පළමු අදියර යටතේ නොමිලේ එන්නත ලබා දීම සිදුවූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු පිරිසට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ටය. ඊට අමතරව ධවල මන්දිරයේ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ තෝරාගත් සාමාජික සාමාජිකාවන්ට, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) තෝරාගත් මහජන නියෝජිතයන්ට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු තෝරාගත් සාමාජික සාමාජිකාවන්ට ද ලබා දීමට නියමිතව තිබුණි.

මේ බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක මණ්ඩලය සහතික කර තිබේ.  ධවල මන්දිරයට, කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන්ට එන්නත් ලබාදීම සිදු කරන්නේ එන්නත ආරක්ෂිත බව ඇමෙරිකන් ජනතාවට සහතිකයක් දීමේ අරමුණින් බව ජාතික ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තම පරිපාලනයට සම්බන්ධ, ධවල මන්දිරයේ සාමාජික සාමාජිකාවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පැහැදිලි කිරීමක් කළේ ට්විටර් පණිවුඩයක් මගිනි.

“විශේෂයෙන් අවශ්‍ය නැතිනම් ධවල මන්දිරයේ වැඩ කරන අයට එන්නත ලැබිය යුත්තේ එන්නත් වැඩසටහනේ අවසන් අදියරේදී. වැඩසටහනේ අදාළ වෙනස කරන්නැයි මා ඉල්ලීමක් කළා. මා දැන්මම එන්නත ලබාගන්නේ නැහැ. එහෙත් සුදුසු වේලාවේදී එන්නත ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි” යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

එන්නත පළමුවෙන් ලබා දෙන්නේ තම පරිපාලනයට සම්බන්ධ, වයිරසයෙන් අවදානමක් එල්ල විය හැකි සාමාජික සාමාජිකයන්ට යැයි ඒ අනුව ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ. එන්නත ලබා ගන්නා ධවල මන්දිර සාමාජිකයන් අතර උප ජනාධිපති මයික් පෙන්ස් සිටින බව පැවැසෙයි.

පළමු අදියර යටතේ එන්නත් මිලියන 3 ක් ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා බෙදා දීම සිදුවූයේ පසුගිය සති අන්තයේය. ඒ, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය එන්නත සඳහා හිමිවීමෙන් පසුවය. පළමුවෙන් එන්නත ලබා දීම සිදුවූයේ මිචිගන් ජනපදයේ වැසියන්ට බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ. අධිශීතකරණවල ගබඩා කළ එන්නත් තොග, ඇමෙරිකාව පුරා බෙදා හැරීම සිදුවූයේ විශේෂිත ගුවන් යානා සහ ට්‍රක් රථ භාවිතයට ගනිමිනි. ඇමෙරිකානුවන් වෙනුවෙන් ආරම්භ වුණු මෙම එන්නත්කරණ වැඩසටහන ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවන විශාලතම එන්නත්කරණ වැඩසටහන වනු ඇති බව පැවැසෙයි.

‘ෆයිසර්’ එන්නත ‘ආර්.එන්.ඒ.’ වර්ගයේ එන්නතක් වන අතර, ‘කොවිඩ් 19’ වයිරසයේ ජානමය කොටසක් සිරුරට විදීම සිදුවෙයි. වයිරසය ආසාදනය වීම වළක්වමින් සිරුරේ ප්‍රතිශක්තියක් නිපදවීම සිදුවන්නේ ඒ අනුවය. ‘ෆයිසර්’ එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසු සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන බව පැවැසෙයි.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම ඔවුන්ගේ මෙම එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක්වෙමිනි. කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමට, ‘ෆයිසර්’ සහ බයෝඇන්ටෙක්’ සමාගම් හවුල් කළේ ට්‍රම්ප් පරිපාලනයයි. ඒ සඳහා ට්‍රම්ප් පරිපාලනයෙන් මුල්‍ය අනුග්‍රහය ද ‘බයෝඇන්ටෙක්’ සමාගමට හිමිවුණු බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනතාව වෙනුවෙන් එන්නතක් නිපදවීමට ට්‍රම්ප් මැදිහත් වූයේ පසුගිය මාර්තුවේය. ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකානුවන් මිලියනයකට එන්නත ලබා දීමට තම පරිපාලනය පියවර ගන්නා බවය.

‘ෆයිසර්’ එන්නත සියයට 95 ක් සාර්ථක බව පැවැසෙයි. හදිසි තත්ත්වයක් සේ සලකා එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීමට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය පසුගිය 11 වැනිදා හිමිවිය. අද වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS