එන්නත් දත්ත සොරකම් කරන්න හදලා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට තම රටවල වෛද්‍ය පර්යේෂකයන් නිර්මාණය කරන එන්නත් සම්බන්ධයෙන් දත්ත සොරා ගැනීමට උත්සහ කළේ යැයි මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව සහ කැනඩාව, රුසියාවට චෝදනා කරයි.
පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෛද්‍ය පර්යේෂණාගාර සහ ඖෂධ නිෂ්පාදන සමාගම් ඉලක්ක කර ගනිමින් හැකර් ප්‍රහාර මාලාවක් එල්ල විය.
හැකර් ප්‍රහාර යනු පරිගණක ජාල ඔස්සේ සිදුවන දත්ත සොරකම් කිරීමක් හෝ වෙනත් ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්ය. එල්ල වුණු එම හැකර් ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකා, කැනඩා සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් පැවැත් වූ අතර, එහිදී තහවුරු වී ඇත්තේ ප්‍රහාරය පසුපස සිටින්නේ රැසියාව බවය.
ක්‍රෙම්ලීනයේ (රුසියන් පාර්ලිමේන්තුව) අනුදැනුම මත රුසියන් බුද්ධි අංශ ක්‍රියාත්මක වී, ‘ඒ.පී.ටී.29’ හෙවත් ‘කෝසි බෙයාර්’ නමැති පරිගණක හැකර් කණ්ඩායම එම හැකර් ප්‍රහාරයට යොමු කළේ යැයි තොරතුරු අනාවරණය විය.
ඒ අනුව ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව එක් වී ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ බව ද වාර්තා වේ.
පසුගිය වසරේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වූ අවස්ථාවේදී, රුසියාව මැදිහත් වී, මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට ද හැකර් ප්‍රහාර සැලැසුම් කළේ සිදු කළ එම විමර්ශනයේ දී පෙනී ගිය බව මහා බ්‍රිතාන්‍යය පවසා ඇත.
2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද රුසියන් පරිගණක හැකර්වරුන්ගේ මැදිහත් වීමක් සිදුවුණු බවත්, එම මැදිහත් වීම සහ දත්ත වෙනස් කිරීම නිසා ඩොනල්ඞ් ට්‍රම්ප් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණය කළ බවටත් ඇමෙරිකන් ආරක්ෂක අංශ තවමත් රැසියාවට චෝදනා කරයි.
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව එල්ල කරන මෙම සම්බන්ධයෙන් ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් ඊයේ (17) මාධ්‍ය හමුවේ පිළිතුරු දුන්නේය.
‘ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ කැනඩාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. අප බුද්ධි අංශ එවැනි කිසිදු දත්ත සොරා ගැනීමකට හෝ දත්ත වෙනස් කිරීමකට හෝ මැදිහත් වී නැහැ. අපට එල්ල වන්නේ පදනම් විරහිත චෝදනා’ යැයි පෙස්කෝව් පැහැදිලි කළේය.
ගෝලීය වසංගත තත්ත්වයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි ආකාරයේ එන්නතක් නිපදවීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් තරගයකට යොමු වී සිටී. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඖෂධ සමාගම් කීපයක් එන්නතක් නිර්මාණය කෙරෙහි යොමු වී ඇති අතර, සිදු කෙරෙන අත්හදා බැලීම් අවසන් අදියරට ළං වී ඇතැයි ද පැවැසෙයි.
මහා බ්‍රිතාන්‍යය තුළ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිර්මාණය සිදු කරන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, ලන්ඩන් රාජකීය විද්‍යාලය, මොර්ඩේනා සමාගම, කැන්සිනෝ සමාගම ෆ්ලෙසර් සමාගම සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමය.
මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)

