උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි සැක කරන පුද්ගලයකු හමුවීමත් සමඟ උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම පුද්ගලයා හමුවී ඇත්තේ උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ, උතුරු කොරියාවට අයත් කෙසොංග් නගරයෙනි.
ඒ අනුව, මේ වනවිට කෙසොංග් නගරය අගුලු දැමීමට (ලොක්ඩවුන්) පියවර ගන තිබේ. නගරයට යෑමට හෝ එයින් පිටවීමට නොහැකි බව හමුදාව පවසයි.
මෙම පුද්ගලයා අනවරසයෙන් දකුණු කොරියාවට පලා ගොස් යළි දේශසීමා හරහා උතුරු කොරියාවට පැමිණි අයකු යැයි සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ. මොහු යළි උතුරු කොරියාවට හොරෙන් පැමිණ ඇත්තේ මීට සතියකට පෙර යැයි හමුදාව පවසා ඇත.
මෙම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ඇති බවත්, එහිදී ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි තහවුරු වුවහොත්, උතුරු කොරියාවේ පළමු ‘කොවිඩ් 19’ ආසාදිතයා මොහු වනු ඇත.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය වේගයෙන් පැතිරීමට පටන් ගත් සැණින්, උතුරු කොරියාව චීනය සමඟ දේශසීමා වසා දැමීය. ඒ, පසුගිය ජනවාරියේය.
හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පැනැවීමක් කර තිබේ. එම සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව සබඳතා පවත්වන්නේ රටවල් කීපයක් සමඟ පමණි.
පසුගිය ජනවාරියේ දේශසීමා වසා දැමූ අවස්ථාවේදී, උතුරු කොරියාවේ විදේශිකයන් සියලු දෙනා මාස දෙකක් නිරෝධායනයේ රඳවා තැබුණු අතර, මාස දෙක අවසන් වෙද්දී, ඔවුන් උතුරු කොරියාවෙන් පිට කෙරුණි. උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා නොවූයේ උතුරු කොරියාව ගත් මෙම දැඩි තීරණ නිසාය.
(රොයිටර්)

