උතුරු කොරියාවේ තවමත් කොරෝනා නෑ

‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු චීනයටත්, වයිරසය වේගයෙන් පැතිරෙන දකුණු කොරියාවටත් මායිම්ව පිහිටින උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ආසාදිතයකු හමුවී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
උතුරු කොරියාවේ ‘රොඩොංග් සිංමුන්’ නමැති ජාතික පුවත් පත කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දිනපතා පුවත් පළ කරන බවත්, උතුරු කොරියාවේ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් සම්බන්ධ කර ගනිමින් තොරතුරු ලබා ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියකු වන මයික් රයන් මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.
උතුරු කොරියාව මිලියන 25 ක ජනගහනයත් ඇති රටකි. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාවට ජගත් සම්බාධක පනවා ඇත. එවැනි තත්ත්වයක් යටතේ උතුරු කොරියාවේ ‘කෝවිඞ් 19’ වයිරසය පැතිර ගියොත්, එය දරුණු විය හැකි බව මයික් රයන් වැඩිදුරටත් කියා සිටී.
‘කෝවිඞ් 19’ වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේය. වයිරසය වේගයෙන් පැතිරෙනු ඇතැයි බිය පළ කිරීමත් සමඟ උතුරු කොරියා නායක කිම් ජොන් උන් වහා උපදෙස් දුන්නේ, උතුරු කොරියා සහ චීන දේශසීමා වසා දැමීමටය.
ජාත්‍යන්තර සම්බාධක මැද උතුරු කොරියාව, සමීප සබඳතා පවත්වන එකම රට වන්නේ චීනයයි. චීනය බලා යන ගුවන් ගමන් සහ දුම්රිය ගමන් ද වහා නැවැත්වීමට පියවර ගැණින. චීනය සමඟ ඇති කිලෝ මීටර් 1,500 ක් දිග දේශසීමාව ද වසා දැමුණි. උතුරු කොරියාවට මායිම්වන චීනයේ පළාත් දෙකකින් කොරෝනා ආසාදිතයන් 200 දෙනකු හමුවී ඇතැයි පැවැසෙයි.
දේශසීමා වසා දැමීමත් සමඟ උතුරු කොරියාවට පැමිණ, එරට යොංග්යැංග් අගනුවරට ඇතුළුවන සියලුම දෙනා දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරුණි. උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර රැඳී සිටින සියලුම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, සහන සේවකයන් ඔවුනොවුන්ගේ නිවාස සහ නවාතැන්වල නිරෝධායනයට ලක් කෙරණි. ඒ, මාසයකට වැඩි කාලයක් පුරාවටය. ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් මාසයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ පළමු රට උතුරු කොරියාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
කොරෝනා වයිරස ආසාදිතයන් නැතැයි උතුරු කොරියා රජය නිල වශයෙන් පැවැසුවත් දකුණු කොරියානු ඇතැම් පුවත් සේවා වාර්තා කර ඇත්තේ උතුරු කොරියාවෙන් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවුණු බවය. එක් දකුණු කොරියා පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදෙස් පරිදි, එරට කොරෝනා ආසාදිතයන් වෙඩි තබා මරා දැමුණු බවය.
ජිනීවාහිදීය (රොයිටර්)

